(චමිලා අල්විස්)

හොරණ රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි 3.5ක මුදලක් අතුරුදන්වීමේ සිද්ධියට අදාළව, කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනකු සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කළ බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින බැංකුවේ සහකාර කළමනාකරු මීට පෙර නල්ලුරුව ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකුගෙන් සහ හොරණ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනකුගෙන් පොලී පදනම මත මුදල් ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් විශ්වනාත් මහතාට ලද තොරතුරු මත සිදුකළ විමර්ශනවලදී, සැකකරු මෙම ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් රුපියල් ලක්ෂ ගණනින් ණය මුදල් ලබාගෙන ඇති බව හෙළිවී ඇත.

විමර්ශන නිලධාරීන් සැක පළ කරන්නේ සැකකරු විසින් ලබාගෙන තිබූ විශාල ණය බර පියවා ගැනීම සඳහා මෙම මුදල් වංචාව සිදුකර ඇති බවයි. එසේම බැංකුවේ මුදල් මංකොල්ලකරුවකු විසින් රැගෙන ගිය බවට ඔහු ඉදිරිපත් කළ පැමිණිල්ල ව්‍යාජ එකක්ද යන්න පිළිබඳවද විමර්ශන සිදු කෙරේ.