
පානීය ජල ව්‍යාපාරයක් පවත්වාගෙන යන මුවාවෙන් ඉතා සූක්ෂ්ම ලෙස මහා පරිමාණ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගියේ යැයි රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් මත්පැන් පෙරීමට ගන්නා යන්ත්‍ර තොගයක් සමග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුද හමුදාවේ හිටපු කර්නල් ජගත් මැදවත්තගේ ඇතුළු සැකකරුවන් හය දෙනා දින හතක් පොලිසියේ රඳවා ප්‍රශ්න කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේය.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවන් හය දෙනා අධිකරණයට ඉදිරිපත් කරමින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.
කඩුවෙල, පොලිස් වසමේ සුදර්ශන පාර ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක පවත්වාගෙන ගිය මෙම නීති විරෝධී මත්පැන් ස්කාගාරයේ මත්පැන් නිෂ්පාදනය කර කොළඹ රත්නපුර ඇතුළු දිවයිනේ තදාසන්න ප්‍රදේශවලට බෙදාහැරීම් සිදු කර ඇති බවට විමර්ශන මගින් අනාවරණය වී ඇත.
පොලිසියට ලැබුණු රහසිගත තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම විසින් සිදු කරනු ලැබූ මෙම වැටලීමේදී, නීතිවිරෝධී මත්පැන් තොගයක් සහ නිෂ්පාදන උපකරණ රැසක් සමඟ මෙම සැකකරුවන් හයදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම නීති විරෝධී මත්පැන් නිෂ්පාදන අතර සුරබතු දෙපාර්තමේන්තුව මගින් මත්පැන් බෝතල් වල ඇලවීම සඳහා ලබාගන්නා ආරක්ෂිත ඉෂ්ටිකරයට සමාන ස්ටිකර අලවා තිබූ බවද සඳහන් වෙයි.
දේශීය මත්පැන් ලෙස ලේබල් කරන ලද මිලිලීටර් 180 බෝතල් 18,575ක් (මත්පැන් ලීටර් 3,345.5ක්), විදේශීය මත්පැන් ලෙස ලේබල් කරන ලද මිලිලීටර් 1000 බෝතල් 04ක්, මිලිලීටර් 750 නීතිවිරෝධී මත්පැන් බෝතලයක්, මත්පැන් නිෂ්පාදනයට යොදාගන්නා මිලිලීටර් 750 එතනෝල් බෝතලයක්, කේරළ ගංජා ග්‍රෑම් 50යි මිලිග්‍රෑම් 200ක්, නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය සඳහා භාවිත කළ උපකරණ තොගයක් මෙලෙස පොලිසිය අත්අඩංගුවට ගෙන නඩු භාණ්ඩ වශයෙන් නම් කර අධිකරණයට ඉදිරිපත් කර ඇත.
සැකකරුවන් මිහින්තලය, මරදාන, වත්තල, වෑබඩ දකුණ, කඩුවෙල සහ සිප්පිකුලම යන ප්‍රදේශවල පදිංචිකරුවෝ බවයි පොලිසිය කරුණු ඉදිරිපත් කර ඇත.
මහජනතාව මුලා කරමින් පානීය ජල ව්‍යාපාරයක් ලෙස පෙන්වමින් මෙම මහා පරිමාණ නීතිවිරෝධී මත්පැන් ජාලය මෙහෙයවා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාස අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න සහ පොලිස් පරීක්ෂක පැතුම් අන්ජන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd