(රංජිත් රාජපක්ෂ)

හැටන් නගරයේ පැති විදියේ අනවසරයෙන් විවෘත කළ බව කියන මාළු අලෙවි කල වෙළදසලකට කිසියම් පිරිසක් අද සවස ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.

එම ප්‍රහාරයෙන් වෙළදසලේ මාළු සහ කුකුළු මස් අසුරා තිබූ ශීතකරණවලට අලාභ හානි සිදු ව ඇතැයි ද  පොලිසිය කියයි.

සිල්ලර කඩයක් පවත්වාගෙන යෑමට අවසර ඉල්ලා එම වෙළදසැලේ අයිතිකරු හැටන් දික්ඔය නගර සභාව වෙත ඉල්ලුම්පතක් ඉදිරිපත් කර ඒ සදහා අවශ්‍ය අනුමැතිය ලබා දීමට ප්‍රථම එම වෙළදසැලේ අයිතිකරු  මාළු, කුකුළු මස් සහ තවත් ආහාර ද්‍රව්‍ය රැසක් අලෙවි කරමින් සිටියදී එයට ප්‍රදේශයේ අනෙකුත් මත්ස්‍ය ව්‍යාපාරිකයන්ගෙන් මතු වූ විරෝධයක් හේතුවෙන් හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා සහ හැටන් දික්ඔය නගර සභාවේ නිළධාරින් එම වෙළදසැලේ අයිතිකරුවන් නගර සභාව වෙත කැදවා ඉල්ලුම්පත්‍රයට අදාළ අනුමැතිය පිලිබද සලකා බැලීම  හැටන් දික්ඔය නගර සභාවේ මාසික සභා රැස්වීමෙදි තීරණයක් ගන්නා බව දැනුම් දී  විවෘත කළ වෙළදසැල නීත්‍යානුකූල නොවන බැවින් එය වසා දමන ලෙස එම වෙළදසැල් හිමියාට උපදෙස් දී ඇත.

එසේ උපදෙස් ලබා දි තිබියදී වෙළදසැල් හිමියා  යලිත් වෙළදසැල විවෘත කර මාළු වෙළදාම් කරමින් සිටියදී වෙළදසැලට ඇතුලු වූ පිරිසක් වෙළදසැල තුල මාළු සහ කුකුළු මස් ප්‍රදර්ශණය කර තිබූ ශීතකරණවලට සහ තවත් උපකරණ කිහිපයකට පහර දී අලාභ හානි සිදු කර පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.