හපුතලේ සහ හල්දුම්මුල්ල ප්‍රදේශවලට පෙර දින රාත්‍රියේ සිට ඇද හැලෙන වර්ෂාව සහ තද සුළං හේතුවෙන් නිවාස 300 වැඩි ප්‍රමාණයකට අර්ධ හානි සිදුව ඇතැයි හපුතලේ ප්‍රාදේශීය ලේකම් ශාන්ති ජයසේකර මහත්මිය කීවාය.

හපුතලේ පොලිසියට හා රෝහල් නිල නිවසට ද සුළඟින් හානි සිදුව ඇති අතර ගස් කඩා වැටීමෙන් ගමනා ගමනයට බාධා එල්ල වී ඇත. විදුලිය ද ඇන හිට ඇතැයි පොලිසිය කියයි. කොළඹ බදුල්ල මාර්ගය ඇද වැටුණු ගසක් ඉවත් කර ගමනා ගමනය යථා තත්ත්වයට පත් කළ බව හපුතලේ පොලිස් ස්ථානාධිපති ප්‍රියංකර කුමාර මහතා පැවැසීය.

හල්දුම්මුල්ල, ලේමස්තොට හා කිතුල්ආරාවට වැඩි වශයෙන් හානි සිදුව ඇතැයි ද තද සුළං තත්ත්වය තවමත් පහවගොස් නැතැයි ද ප්‍රාදේශීය ලේකම්වරිය පැවැසුවාය.