(සුජිත් හේවාජුලිගේ)

රාජ්‍ය ආයතන සියයකට ආසන්න ප්‍රමාණයක කටයුතු එන වසරේදී විශේෂ පරීක්ෂාවට ලක් කෙරෙන බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝප්) සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පැවසීය.

පරීක්ෂා කිරීමට බලාපොරොත්තු වන ආයතන හඳුනා ගනිමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

එසේම එම ආයතනවල ප්‍රධානීන් කැදවා ඒවායේ පසුගිය කාලයේදී සිදුවූ දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් පුලුල්ව කරුණු විමසීමටද කමිටුව බලාපොරොත්තු වෙයි.

කෝප් කමිටුව මේ වසරේදීද රාජ්‍ය ආයතන තිහකට වැඩි ප්‍රමාණයක් කැඳවා ඒවායේ දුෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමර්ශනය කෙරිණ.

මේ අතර කෝප් කමිටුවේ කටයුතු සක්‍රිය කිරීම සඳහා එහි කටයුතු අනු කමිටු කිහිපයකට පවරා ඒ මාර්ගයෙන්ද විමර්ශන කටයුතු කෙරෙන බව ආරංචි මාර්ග පවසයි.

මේ අතර කෝප් කමිටුවේ විමර්ශන වාර්තා ගණනාවක් වැඩිදුර විමර්ශන සඳහා අල්ලස් කොමිසමට බාරදී ඇත. අල්ලස් කොමිසම ඒ සම්බන්ධයෙන් දැනටමත් විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වේ.