අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ

රටේ පොහොසත්ම සියයට විස්සක  කාණ්ඩයේ ආදායම සියයට 6.8 කින් වැඩි වී තිබෙන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී සුරංග රත්නායක මහතා  (ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"සෑම ආණ්ඩුවක් විසින්ම රැක බලා ගත යුතු ජන කොටස් වෙනුවෙන් මුදල් වියදම් කර තිබෙනවා.අපිට හිතෙන්නේ අනුර දිසානායක ජනාධිපතිවරයා ඉදිරිපත් කර තිබෙන්නේ සරදියෙල් පන්නයේ දෙපැත්ත මාරුවූ අයවැයක්. සරදියෙල් ගේ න්‍යාය වුණේ පොහොසතුන්ගෙන් අරගෙන දුප්පතුන්ට දීම.

හැබැයි ජනාධිපතිවරයාගේ න්‍යාය  තිබෙන්නේ මේ රටේ දුප්පතුන්ගෙන් තව තව අරගෙන ගජ මිතුරු ව්‍යාපාරික පන්තිය තවත් පොහොසත් කිරීමයි.පසුගිය අවුරුදු දෙකේම අයවැය සකස් වෙලා තිබුණේ ඒ විදියට.මේ නිසා ජනාධිපති කරන්නේ දුප්පතුන් අන්ත දුප්පතුන් බවට පත්කර ගජ මිතුරු ව්‍යාපාරික කල්ලිය උග්‍ර පොහොසතුන් බවට පත් කිරීමයි.

2019 සිට 2025 වෙද්දී දරිද්‍රතා  අනුපාතය සියයට 14.3 සිට සියයට 16 දක්වා ක්‍රමයෙන් ඉහළ ගොස් තිබෙනවා.එමෙන්ම 2019 සිට 2025 දක්වා සලකා බැලීමේදී මේ රටේ දුප්පත්ම සියයට 20ක ජනතාවගේ ආදායම සියයට 19.6 කින් පහත බැස තිබෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.