(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා වරාය අධිකාරියට භාණ්ඩ සැපයීමේ ටෙන්ඩරය පිරිනමා ඇතැයි මුලාකරමින් රුපියල් ලක්‍ෂ 32 කට අධික මුදලක් වංචා කළේ යැයි කියන සිද්ධියක් පිළිබඳව වරාය කළමණාකාර අධ්‍යක්‍ෂවරයා සහ ඔහුගේ ලේකම්වරිය ඇතුළු වරාය අධිකාරියේ නිලධාරීන් පිළිබඳව විමර්ශනයක් කර සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලමින් බොරලැස්ගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කර තිබේ.

කොළඹ ඩාර්ලි පාරේ පිහිටි වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂවරයාගේ කාර්යාලයේ නිලධාරියකුගේ මැදිහත්වීමෙන් එම කාර්යාලය තුළදී මෙම ලක්‍ෂ 32 කට අධික මුදලේ වංචාව ක්‍රියාත්මක වූ බවත් මෙම සිද්ධිය පිළිබඳව පැමිණිළි කළ අවස්ථාවේදී වරාය කළමණාකාර අධ්‍යක්‍ෂවරයා තමන් මුණගැසීම පවා ප්‍රතික්ෂේප කළ බවත් එම පැමිණිල්ලේ සඳහන් වේ.

වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂවරයාගේ කාර්යාලයේ අදාල නිලධාරියා කළමණාකාර අධ්‍යක්‍ෂවරයාගේ ලේකම්වරිය තමන්ට හදුන්වා දුන් බව කියන පැමිණිළිකරු වන දම්සෙත් දිනෙත් අමරතුංග මහතා වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂවරයාගේ කාර්යාලයේ චෝදනා එල්ල වන නිලධාරියා අවස්ථා තුනකදී ලක්‍ෂ 6 ක මුදලක් ලබාගත් බවත් ඔහු සම්බන්ධ කළ වරාය අධිකාරියේ යැයි කියන නිලධාරිනියකගේ පෞද්ගලික ගිණුමකට අවස්ථා හයකදී රුපියල් ලක්‍ෂ 16 කට අධික මුදලක් (රුපියල් 1,697,600) බැරකළ අතර තවත් රුපියල් 368,000 ක මුදලක් වරාය මුදල් කොට්ඨාසයට ගෙවූ බවත් පැමිණිල්ලේ සඳහන් වේ.

සිද්ධියට සම්බන්ධ වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂවරයාගේ කාර්යාලයේ නිලධාරියකුගේ කාර්යාලයේ නිලධාරියා ඇතුළු මුදල් ලබාගත් සියලු දෙනා තමා මඟහැරීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් වරායේ නිලධාරීන්ට පැමිණිළි කිරීමෙන් ඵලක් නොවූ බවත් වරායේ වෙනත් ප්‍රධාන නිලධාරියකුගේ සම්බන්ධීකරණයෙන් වරාය නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු මහතාට පැමිණිළි කිරීමෙන් පසුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිළි කරන ලෙස උපදෙස් දුන් බව ද පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

වරාය නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු මහතා හමුවූ ස්ථානයේ වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් සිටි බව ද එම පැමිණල්ලේ සඳහන් වේ.

කෙසේ වෙතත් සිය පැමිණිල්ල භාරගැනීම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සීඅයිඩී), මිරිහාන මූල්‍ය අපරාධ කොට්ඨාසය, කොටුව පොලිසිය, පෑලියගොඩ මූල්‍ය අපරාධ කොට්ඨාසය සහ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය යන සියලුම ආයතන ප්‍රතික්ෂේප කළ බව කියන පැමිණිළිකරු වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂ, ඔහුගේ ලේකම්වරිය, සැපයුම් අංශය සහ මුදල් අංශය යන සියලුම අංශවල මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව විමර්ශනයක් කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙන් ඉල්ලා මෙම පැමිණිල්ල කළ බව සඳහන් කරයි.

එම පැමිණිල්ලේ පිටපත් ජනාධිපතිවරයාට, වරාය හා ගුවන් සේවා අමාත්‍යවරයා සහ වරාය අධිකාරියේ සභාපතිවරයා ඇතුළු පාර්ශව 7 කට ද යොමුකර තිබේ.