(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ජාතික රෝහලේ (NHSL) රුපියල් මිලියන 99ක් වැය කර පූර්ණ ප්‍රතිසංස්කරණයකින් පසු පිහිටුවන ලද  "ස්නායු රෝග විද්‍යා ආයතනය" (Institute of Neurology) අද(1) විවෘත කෙරිණි.

ස්නායු රෝගී ප්‍රතිකාර සේවාවන් (Neurology Services) මඟින් මොලය, සුෂුම්නාව, ස්නායු සහ පේශි පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝගී තත්ත්වයන් හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සිදු කරනු ලබන අතර, මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවේ ස්නායු රෝගී ප්‍රතිකාර සේවාවන් අතිශය පුළුල් හා කාර්යක්ෂම වනු ඇතැයි අමාත්‍යංශය කියයි.

මෙම විවෘත කිරීමට සමගාමීව ස්නායු රෝග විද්‍යා ආයතනයේ නිර්මාතෘ, දේශමාන්‍ය විද්‍යා ජෝති විශේෂඥ වෛද්‍ය ඡේ.බී පීරිස් මහතාගේ ඡායාරූපයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතින් නිරාවරණය කළ අතර, එම අවස්ථාවට විශේෂඥ වෛද්‍ය ඡේ.බී පීරිස් මහතා ද එක්ව සිටීම විශේෂත්වය කි. මෙහි දී ස්නායු රෝග විද්‍යා ආයතනයේ අංක 62/63 වාට්ටු ද (Neurology unit ward 62/63) නිල වශයෙන් විවෘත කළ අතර ප්‍රථම රෝගියා ලියාපදිංචි කිරීම ද සිදුවිය.   

මෙම ඒකකයට ඇතුළත් වාට්ටු දෙකෙ හි රෝගී ඇඳන් 22 බැගින් පවතින අතර එම වාට්ටු කාන්තා හා පිරිමි වශයෙන් වෙන් කර ඇත.

මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කීවේ රජයක් ලෙස කිසිසේත්ම සෞඛ්‍ය අංශයට මුදල් වෙන්කිරීමේ දී කිසිදු ආකාරයේ පැකිළීමකින් තොරව එය සිදුකරන බවයි.  මෙවර සම්මත කළ අයවැයෙන් රුපියල් බිලියන 619ක මුදලක් සෞඛ්‍ය අංශය වෙනුවෙන් වැයකරන බව ඔහු සඳහන් කළේ ය.