(අංජුල මහික වීරරත්න)

ආඝාත, පිළිකා, හෘද ඇතුළු රෝග විනිශ්චය සඳහා රෝහල් පද්ධතියට රුපියල් මිලියන 1950 ක වියදමකින් අධි තාක්ෂණික නවීනතම CT ස්කෑන් යන්ත්‍ර 11 ක් ලබා දී තිබේ.

ඒ යටතේ කළුතර ශික්ෂණ රෝහල සඳහා රුපියල් මිලියන 200 කට අධික වටිනාකමකින් යුත් 128 - ස්ලයිස් සීටී ස්කෑනර් යන්ත්‍රයක් සහ කුරුණෑගල ශික්ෂණ රෝහල සඳහා රුපියල් මිලියන 160 ක වටිනාකමකින් යුත් සීටී ස්කෑනර් යන්ත්‍රයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවාව මඟින් මේ වනවිටත් ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත.

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ආධාර යටතේ, ශ්‍රී ලංකා ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, ගාල්ල ජාතික රෝහල සහ කොළඹ දකුණු ශික්ෂණ රෝහල සඳහා රුපියල් මිලියන 640 ක පමණ වටිනාකමකින් යුත් නවීනතම CT ස්කෑනර් හතරක් ලබාදී ඇති අතර, ඒවායේ ස්ථාපන කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

කුලියාපිටිය ශික්ෂණ රෝහල සහ දඹුල්ල, නාවලපිටිය, හලාවත, මන්නාරම යන දිස්ත්‍රික් මහ රෝහල් සඳහා රුපියල් මිලියන 950 ක වටිනාකමකින් යුත් අති නවීන සීටී ස්කෑනර් මිලදි ගැනිම සඳහා දැනට කටයුතු සම්පාදනය වෙමින් පවතින බව අමාත්‍යංශයය කියයි.

දීර්ඝ කාලයක් පුරා බොහෝ රජයේ රෝහල්වල රෝග විනිශ්චය සඳහා යොදා ගැනුණේ 16-ස්ලයිස් සීටී ස්කෑනර් යන්ත්‍ර වේ.

එම යන්ත්‍ර රෝගීන්ට ප්‍රයෝජනවත් සේවාවක් සපයා තිබුණ ද, වර්තමාන වෛද්‍ය තාක්ෂණයේ දියුණුවත් සමඟ ඉතා කෙටි වේලාවක් තුළ ඉහළ ගුණාත්මකභාවයකින් යුත් රූප සහ වඩා නිවැරදි රෝග විනිශ්චයන් ලබාගත හැකි 64-ස්ලයිස් සහ 128-ස්ලයිස් සීටී ස්කෑනර් යන්ත්‍ර සඳහා අවශ්‍යතාවය මෙරට රෝහල් පද්ධතියට දැඩි ලෙස අවශ්‍යව තිබූ බව අමාත්‍යංශය පවසයි.

ඒ අනුව අළුතින්ම සපයන ලබන මෙම අධි තාක්ෂණික පද්ධති මගින් ආඝාත, හදිසි අනතුරු, පිළිකා, හෘද හා රුධිර නාල රෝග මෙන්ම හදිසි ප්‍රතිකාර ප්‍රතිකාර සේවාවන්හිදී ඉතා කෙටි වේලාවකදී වඩාත් නිවැරදි රෝග විනිශ්ච්‍යයන් ලබාගැනීමට වෛද්‍යවරුන්ට අවස්ථාව උදාවෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.