
(සුජිත් හේවාජුලිගේ)
රට පුරා අනවසර ගිනි අවි 80000ත් ලක්ෂයත් අතර ප්‍රමාණයක් සංසරණය වන බවට ආරක්ෂක අංශ නිලධාරීහු අනුමාන කරති.
මින් අනවසර ගිනි අවි බොහෝ ප්‍රමාණයක් පාතාලකරුවන් සහ හමුදාවෙන් පැන ගිය පුද්ගලයන් සතුව පවතින බවට තොරතුරු අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක කටයුතු අමාත්‍යාංශය පවසයි.
කාලයක් එල්ටීටීය විසින් පාවිච්චි කරනු ලැබූ අවි ආයුධද මේ අතර වන බව ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර පාතාලකරුවන්ට ගිනි අවි පන්දහසකට වැඩි ප්‍රමාණයක් පසුගිය කාලයේදී විවිධ රටවලින් පැමිණ ඇති බවත් ඒවා රැගෙන එන මුහුදු මාර්ග පහක් හඳුනාගෙන ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ගිනි අවි රැගෙන එන මාර්ග ඉලක්ක කර ආරක්ෂක මුරකාවල් තර කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
රටේ මිනීමැරුම් වැඩිවීමට මෙම අනවසර ගිනි අවි ප්‍රධාන හේතුවක් ලෙස පවතින හෙයින් මෙම අනවසර ගිනි අවි සොයා ගැනීමට විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරයි.
පසුගිය වසරේ ජනවාරි 01 සිට 2026 ජූලි 03 දක්වා කාලය තුළ දිවයින පුරා කළ වැටලීම්වලින් නීතිවිරෝධී ගිනිඅවි 3,100 කට අධික ප්‍රමාණයක් සොයා ගනු ලැබ ඇත.
වැඩිම ගිනි අවි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ 2025 වසරේදීය. ගිනිඅවි 2,404ක් සොයාගෙන තිබේ.
මෙහි T-56 ස්වයංක්‍රීය අවි 74ක්, පිස්තෝල 90ක් සහ දේශීය නිෂ්පාදිත අවි 2,177ක් ඊට ඇතුළත් විය.
2026 වසරේ මුල් මාස හමාරට: 2026 ජනවාරි 01 සිට ජූලි 03 දක්වා කාලය තුළ තවත් නීතිවිරෝධී ගිනිඅවි 719ක් අත්අඩංගුවට ගෙන ඇත.
අනවසර ගිනි අවි සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ රටේ අපරාධකරුවන්ට පාතාලකරුවන්ට රජයෙන් කිසිදු බුරුලක් නොලැබෙන බවයි.
අනවසර ගිනි අවි අත්අඩංගුවට ගැනීමට රජයේ වැඩි අවධානය යොමුව ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
පසුගිය කාලයේදී පාතාල වෙඩිතැබීම් සියයකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එච්චර ගිනි අවි? දෙයියෝ සාක්කි කිව්වලු.