(අංජුල මහික වීරරත්න)

රජය විසින් යෝජනා කර ඇති ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අත්‍යවශ්‍ය බව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් ඉදිරිපත් කරමින් පවසයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ,ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය කැඳවුම්කරු හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්,එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහත්වරුන් ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ අත්සනින්  යුක්තව මෙම ලිපිය යොමු කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ  සම්පූර්ණ ලිපිය මෙසේය.

ගරු අනුර කුමාර දිසානායක මහතා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

2026 අගෝස්තු 12

අතිගරු ජනාධිපතිතුමනි,

ජනමත විචාරණයක ඇති නෛතික අවශ්‍යතාව

රජය විසින් යෝජනා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(5) වැනි වගන්තිය සඳහා වන සංශෝධන මගින් අපේක්ෂිත මූලික වෙනස්කම් පිළිබඳව ජනතාවගේ කැමැත්ත විමසා බැලීම සඳහා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XIII වැනි පරිච්ඡේදයේ විධිවිධානවලට අනුව ජනමත විචාරණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බවට වන අපගේ දැඩි විශ්වාසය ඔබතුමා වෙත දැනුම් දීමට කැමැත්තෙමු.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය රාමුව 

අපගේ විශ්වාසයට අනුව මූලික පදනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තියෙහි මැනවින් ප්‍රකාශයට පත් වේ. එහි සඳහන් වන්නේ "ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටන්නේ ය. පරමාධිපත්‍යය අත්හැරිය නොහැක්කේ ය." යනුවෙනි.

ජනතාවගේ අධිකරණ බලය "පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සාදන ලදුව, පිහිටවනු ලැබූ හෝ පිළිගනු ලැබූ, නැතහොත් යම් ලේඛනගත නීතියකින් සාදන ලදුව, පිහිටුවනු ලැබූ අධිකරණ, විනිශ්චයාධිකරණ සහ ආයතන මගින් ක්‍රියාත්මක කළ යුත්තේ ය" යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(c) වගන්තියෙහි පැහැදිලිවම දක්වා ඇත.

3 වැනි වගන්තිය යනු සංශෝධනය කිරීම හෝ අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකට අමතරව අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් අවශ්‍ය වන (83 වැනි වගන්තිය අනුව) ආරක්ෂිත විධිවිධානයක් වන අතර, 3 සහ 4 යන වගන්ති එකිනෙක වෙන් කළ නොහැකි ලෙස බද්ධ වී ඇති බැවින් 4 වැනි වගන්තියට ද ඊට සමාන අයිතියක් හිමිවන බවට පැහැදිලි අධිකරණ තීන්දුවක් පවතී.

මේ මතය තහවුරු කිරීම සඳහා, A.V.N. Perera v. Attorney-General (SC (SD) No. 30/2022) නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු (මලල්ගොඩ, නවාස් සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඬුල්ල) විසින් දෙන ලද තීන්දුවෙන් පහත කොටස උපුටා දක්වමු:

"3 වැනි වගන්තියට අනුව පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇති අතර, 4 වැනි වගන්තියට අනුව ආණ්ඩුවේ අංග විසින් ජනතාවගේ විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලය ක්‍රියාත්මක කරනු ලබයි. විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ අනිසි මැදිහත්වීම් වලින් ආරක්ෂා වීමට ස්වාධීන අධිකරණයක් නැති නම්, අධිකරණ බලයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය පිළිගැනීමක් ලබා දීමෙන් පලක් නැත. 

එලෙසම, විධායකයේ සහ පරිපාලනයේ අතික්‍රමණයන්ගෙන් මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ස්වාධීන අධිකරණයක් නැති නම්, ඒ අයිතිවාසිකම්වලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය පිළිගැනීමක් ලබා දීමෙන් ද ඵලක් නැත. අවසානයේදී, ජනතාවගේ සියලු අයිතිවාසිකම් පූර්ණ ලෙස ක්‍රියාත්මක වීම රඳා පවතින්නේ නීතියේ ආධිපත්‍යය සුරකිමින්, සමර්ථ, ස්වාධීන සහ අපක්ෂපාතී අධිකරණයක් මගින් යුක්තිය පසිඳලීම නිසි ලෙස සිදු කිරීම මත ය. මේ සන්දර්භය තුළ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රවේශකය (SVASTI) මගින් සියලු ජනතාවට අධිකරණයේ ස්වාධීනත්වය සහතික කර ඇති බව සැලකිල්ලට ගැනීම වැදගත් ය. එබැවින්, 3 වැනි වගන්තියේ සඳහන් පරමාධිපත්‍යය යන්න ස්වාධීන අධිකරණයක් සඳහා වන අයිතිය ද ඇතුළත් වන පරිදි අර්ථ නිරූපණය කළ යුතුය."

අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ව්‍යුහය තුළ අතිශය පූජනීය ලෙස පිළිගෙන ඇති ජනතාවගේ පරමාධිපත්‍යය සඳහා අධිකරණයේ ස්වාධීනත්වය යන්න අත්‍යවශ්‍ය අංගයක් බවට වන මේ මතයට අපි කොන්දේසි විරහිතව සහාය පළ කරමු.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස සම්බන්ධයෙන් විවිධ අධිකරණ බල ප්‍රදේශයන්හි වෙනස් ප්‍රවේශ පවතින අතර, ඒ සඳහා වෙනස් කළ නොහැකි එකම සම්මතයක් නැති වුවද, රජයේ යෝජිත ක්‍රියා මාර්ගයට අපගේ මූලික විරෝධය එල්ල වන්නේ එහි ඇති තදබල අදූරදර්ශී සහ පුද්ගල කේන්ද්‍රීය (ad hoc and ad hominem) ස්වභාවය නිසාය.

පැහැදිලි අධිකරණ ප්‍රකාශනයක් 

අප සුරකින මූලධර්ම, ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රකාශිත තීන්දු මගින් ඉතා පැහැදිලි ලෙස තහවුරු කර ඇත.

උදාහරණයක් ලෙස, 2022 දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ පහත කොටස උපුටා දැක්විය හැකිය:

"රාජ්‍ය නිලධාරීන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තනතුරු දරන අනෙකුත් පිරිස් මෙන් නොව, ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම නිශ්චිතව දක්වා ඇත. ධුර දැරීමට ඇති කාලයට හෝ විශ්‍රාම යන වයසට හෝ බලපාන පරිදි සිදුකරන ඕනෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්, සෘජුව හෝ වක්‍රව හෝ දැනට සිටින විනිසුරුවරුන්ට බලපාන්නේ නම්, එය අධිකරණයේ ස්වාධීනත්වයට හානි කරන අතර ජනමත විචාරණයක් අවශ්‍ය වන 3 වැනි වගන්තිය උල්ලංඝණය කිරීමක් වේ." (බුවනෙක අලුවිහාරේ, මුර්ධු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඬුල්ල).

අපගේ රටේ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම සඳහා අත්‍යවශ්‍ය යයි අප සලකන මූලධර්මයේ මීට වඩා බලවත් ප්‍රකාශනයක් තිබිය නොහැක. 2022 මේ තීන්දුව වර්තමාන තත්ත්වයට ද සැබෑ සහ ප්‍රායෝගික ලෙසම අදාළ වේ.

සංවාදයක හෝ සහභාගිත්වයක හෝ සම්පූර්ණ අභාවය

නීතිඥ සංගම්, බුද්ධිමතුන් සහ සිවිල් සමාජය වැනි පාර්ශ්වකරුවන් සමඟ දීර්ඝ කාලීන සාකච්ඡා වලින් පසුව මෙවැනි වෙනස්කම් සිදුකළ අනෙකුත් රටවල අත්දැකීම්වලට හාත්පසින්ම වෙනස්ව, මෙහිදී කිසිදු සංවාදයක් හෝ විමසීමක් හෝ නොවීම පිළිබඳව අපි බෙහෙවින් කම්පනයට පත්ව සිටිමු. වත්මන් ක්‍රියාවලියේ පවතින සම්පූර්ණ පාරදෘශ්‍යභාවයේ අභාවය දැඩි සැකයකට සහ උත්සුකතාවයට තුඩු දෙන්නකී.


"සැබෑ සහ අර්ථවත් සංවාදය" යනු යහ පාලනයේ, නීතියේ ආධිපත්‍යයේ සහ ව්‍යවස්ථා සම්පාදනයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන යුරෝපීය කොමිසම (වෙනිස් කොමිසම) විසින් පනවා ඇති පූර්ව කොන්දේසිවලට වත්මන් ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධය.

සැබෑ හෝ උපකල්පිත හෝ පක්ෂපාතීත්වය (Bias)

චෝදනාවට ලක්ව ඇති මේ ක්‍රියාමාර්ගයේ සෘජු ප්‍රතිලාභියා වන ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම මේ කරුණ සලකා බැලීම, සැබෑ හෝ උපකල්පිත පක්ෂපාතීත්වයට එරෙහි නීතිමය මූලධර්මයට හෝ සෘජුවම පටහැනි වේ.

අධිකරණ චර්යා පිළිබඳ බැංගලෝර් මූලධර්මවල (2002) 2.5 අගයෙහි මෙසේ සඳහන් වේ: "විනිසුරුවරයෙකුට අපක්ෂපාතීව තීන්දුවක් දීමට නොහැකි වන හෝ සාධාරණ නිරීක්ෂකයෙකුට විනිසුරුවරයා අපක්ෂපාතීව තීන්දුවක් දීමට අපොහොසත් යයි හෝ හැඟී යා හැකි ඕනෑම නඩු කටයුත්තකින් විනිසුරුවරයා ස්වයංක්‍රීයව ඉවත් විය යුතුය."

මෙය එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සාමාජික මණ්ඩලය (ECOSOC) විසින් ද අනුමත කර ඇත.

සැබෑ පක්ෂපාතීත්වයක් තහවුරු නොවුවද, පක්ෂපාතී බවට ඇති වන සාධාරණ සැකය පවා නඩු තීන්දුවක් බලශූන්‍ය කිරීමට ප්‍රමාණවත් බව ස්ථාපිත නීතියයි (R. v. Bow Street Metropolitan Stipendiary Magistrate, ex parte Pinochet (No. 2) 2001 AC 119 හි ගොෆ්ගේ තීන්දුව බලන්න).

අපක්ෂපාතීත්වය පිළිබඳ මේ නිර්ණායකය ජාත්‍යන්තර සම්මුතීන් තුළ අඛණ්ඩව තහවුරු කර ඇත. ජෙරුසලමේ මවුන්ට් ස්කෝපස් ජාත්‍යන්තර අධිකරණ ස්වාධීනතා ප්‍රමිතීන් (2008) සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ මානව හිමිකම් පිළිබඳ කාර්යාලය (වෝර්සෝ 2025) මගින් සකස් කරන ලද විනිසුරුවන් ඉවත් වීම සහ ස්වයංක්‍රීයව ඉවත් වීම පිළිබඳ අදාළ ප්‍රමිතීන් සහ රෙගුලාසි ඊට උදාහරණ වේ.

අපගේ ස්ථාවරය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති අප ජනතාවගේ පරමාධිපත්‍යය, මෙම කරුණ තීරණය කිරීමේ බලය ඔවුන්ගෙන් පැහැර ගැනීම මගින් පිළිගත නොහැකි ලෙස උල්ලංඝණය වන බව අපි තදින්ම ප්‍රකාශ කරමු. මේ බලය, මූලධර්මානුකූලව මෙන්ම ස්ථාපිත පූර්වාදර්ශයන්ට අනුව ද, අත්හළ නොහැකි ලෙස හිමිවන්නේ ජනතාවට පමණි.

එබැවින් මෙම විෂය ඉදිරියට ගෙන යාම සඳහා වන එකම නීත්‍යානුකූල මාර්ගය ලෙස ජනමත විචාරණයක් පවත්වන ලෙස අපි අවධාරණය කරමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(5) වගන්තිය සංශෝධනය කිරීමට යෝජිත පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් ජනතාව වෙත ඉදිරිපත් කිරීමට අදහස් කරන බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85(1) වගන්තිය ප්‍රකාරව සහතික කරන ලෙස අමාත්‍ය මණ්ඩලයට නියෝග කරන ලෙස අපි අතිගරු ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

ස්තූතියි.
ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන්