(අමිල සම්පත් ශ්‍රී පල්ලියගුරු)

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ භූමිය තුළ සැරිසරන මුවන් වෙඩි තබා ඝාතනය කොට සිවිල් වැසියන්ට අලෙවි  කළ බව කියන මත්තල ගුවන් හමුදා කඳවුරේ නිළධාරියකු ඇතුළු සෙබලුන් පස්දෙනකු සහ සිවිල් වැසියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව  මත්තල පොලිසිය කියයි.

වෙඩි තබා ඝාතනය කරන ලද මුවෙකුගේ මස් සහ හිස්කබල අත්අඩංගුවට ගෙන ඇති අතර වෙඩි තැබීම සඳහා යොදාගත්   ගිනි අවියක් පිහියක් සහ දඩමස් ප්‍රවාහනය කරන ලද ගුවන් හමුදා ජීප් රථයද මෙන්ම ඔෆිසර්වරයා ගමන් ගත් යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන ඇත.

මත්තල ගුවන්තොටුපළ භූමියේ මුවන්ට වෙඩි තබා ඝාතනය කර ගුවන් හමුදා කඳවුර පරිශ්‍රයේ ඇති නාන කාමරයට ගෙනවිත් මස් පිණිස සකසා ගුවන් තොටුපළ පරිශ්‍රයේ විදුලි වැටෙන් පිටත රැඳී සිටි සිවිල් වැසියන් දෙදෙනෙකුට මෙලෙස මස් සපයා ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.