(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි)

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම කොටසේ සංවර්ධන කටයුතුවලට සමගාමීව ​මධ්‍යම අධිවේගී මාර්ගයට පිවිසෙන ප්‍රධාන සම්බන්දක මාර්ග ජාලය සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන 104.9ක මුදලක් යෙදවීමට කටයුතු කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.

මෙම මුදල වෙන් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇතැයිද මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

බස්නාහිර, මධ්‍යම සහ වයඹ යන පළාත්වල මාර්ග ගමනාගමන පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීම සහ පවතින අධික රථවාහන තදබදයට තිරසාර විසඳුම් ලබා දීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.

​මෙම මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියේ I වන අදියර යටතේ ප්‍රදේශ රැසක් ආවරණය වන පරිදි සමස්ත කිලෝමීටර් 117.68ක දිගින් යුත් ප්‍රධාන සම්බන්ධක මාර්ග 12ක් පුළුල් කර සංවර්ධනය කිරීමට නියමිතය.

​සංවර්ධනය කිරීමට යෝජිත මාර්ග ජාලය:

​ජා-ඇල - ඒකල - ගම්පහ - යක්කල මාර්ගය: කි.මී. 17.02

​උඩුගම්පළ - දිවුලපිටිය මාර්ගය: කි.මී. 14.88

​කටුනායක - වේයන්ගොඩ මාර්ගය: කි.මී. 13.32

​මිනුවන්ගොඩ - ගම්පහ - මිරිස්වත්ත මාර්ගය: කි.මී. 13.27

​මීගමුව - මීරිගම මාර්ගය: කි.මී. 12.97

​වරකපොල - කණ්ඩලම මාර්ගය: කි.මී. 10.86

​කොටදෙනියාව - මීරිගම මාර්ගය: කි.මී. 8.05

​වේයන්ගොඩ - කල්එළිය මාර්ගය: කි.මී. 7.45

​පස්යාල - ගිරිඋල්ල මාර්ගය: කි.මී. 6.31

​මුදුන්ගොඩ - ගම්පහ - ඔරුතොට මාර්ගය: කි.මී. 5.15

​වේයන්ගොඩ - රුවන්වැල්ල මාර්ගය: කි.මී. 4.30

​කළගෙඩිහේන - වේයන්ගොඩ මාර්ගය: කි.මී. 4.10

​මෙම මාර්ග පද්ධතිය නවීකරණය වීමත් සමඟ මධ්‍යම අධිවේගී මාර්ගය වෙත ළඟාවීමේ කාලය සැලකිය යුතු ලෙස අඩු වන අතර, එම ප්‍රදේශවල වෙළඳ හා ආර්ථික කටයුතු සඳහා ද මහත් පිටිවහලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.