(විමුක්ති එස්. රුද්‍රිගු)

දින කිහිපයක් පුරා ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් තායිලන්තයේ බැංකොක් නගරයේ නිවාස සහ මාර්ග ජලයෙන් යටවීමත් සමඟ දහස් ගණනක් ජනතාව ඊයේ(27) ආරක්ෂිත ස්ථාන වෙත ගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

බැංකොක් නගර බලධාරීන්ට අනුව පුද්ගලයන් 4,900කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇති අතර, ගංවතුර හේතුවෙන් පවුල් 52,000කට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇත. පසුගිය 24 සිට ඊයේ(27) දක්වා බැංකොක් නගරයේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 330 ට වැඩි වර්ෂාපතනයක් ලැබී ඇතැයි නගර බලධාරීහු ප්‍රකාශ කළහ.

ගංවතුර තත්වය හේතුවෙන් බැංකොක් නගරය පුරා හදිසි තත්වයක් ප්‍රකාශ කර ඇත. තායිලන්තය වර්ෂා සහිත කාලගුණයට හුරු පුරුදු රටක් වන අතර සැප්තැම්බර් මාසය එරට වැසි සමයේ උච්චතම කාලය ලෙස සැලකේ. කෙසේ වෙතත්, බැංකොක් නගරයේ පදිංචිකරුවන් කිහිපදෙනකු පවසා ඇත්තේ මෙවර වර්ෂා තත්ත්වය පෙර වසරවලට වඩා දැඩි බවක් පෙනෙන්නට ඇති බවයි.