(අංජුල මහික වීරරත්න)

ඉදිරි මාස තුන සඳහා රුපියල් කෝටි 4100 ක ඉන්ධන සහනාධාරයක් ලබාදීම සඳහා වන යෝජනාවක් කැබිනට් මණ්ඩලයට අද(28) ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඉන්ධන මත ජනතාවට දැරීමට සිදුවන බර අඩු කිරීමේ අරමුණින් මෙම සහනාධාර මුදල ලබාදීමට තීරණය කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය ජනාධිපති කාර්යාලයේදී අද(28) රැස්වීමට නියමිතව ඇත.

ඇමරිකා ඉරාන යුද ගැටුම් හමුවේ ඉකුත් මාර්තු 2 දා සිට හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් පසු තෙල් ලෝක සැපයුම අඩාල වීමෙන් ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමට පටන් ගත්තේය.

එම මිල වැඩිවීමේ බර ජනතාව මත සම්පූර්ණයෙන්ම නොපැටවීම සඳහා රජය අප්‍රේල්, මැයි සහ ජුනි මාස සඳහා ඩීසල් ලීටරයකට රුපියල් සියයක්ද පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් විස්සක් ද ලබා දුන් අතර ඒ සඳහා රුපියල් කෝටි 5700 ක් වෙන් කළේය. මැද පෙරදිග අර්බුදය නිසා ඩීසල් ලීටරයක් පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර්තු මාසයේදී සියයට 115 කින් ඉහළ ගොස් තිබිණි.ජුනි මාසය අවසානය වන විට ඩීසල් මිල සියයට 39 කින් පහළ ගිය අතර ඒ අනුව ජූලි මාසයේදී ඩීසල් මිල රුපියල් 25කින් පහත දැමීමට රජය කටයුතු කළේය.

ලෝක වෙළෙඳ පොලේ පෙට්‍රල් මිල ඉකුත් පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර්තු මාසයේ සියයට 71 කින් ඉහළ ගිය අතර ජුනි මාසයේ අග වන විට පෙට්‍රල් මිල සියයට 43.2 දක්වා පහත බැසීමත් සමඟ එම සහනයද ජනතාවට ලබාදීමට කටයුතු කළ බව රජයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

මේ වන විට ඉකුත් පෙබරවාරි මාසයට සාපේක්ෂව ලෝක වෙළෙඳපොලේ ඩීසල් මිල සියයට 92 කින්,පෙට්‍රල් මිල සියයට 78කින් සහ බොර තෙල් මිල සියයට 66 කින් ඉහළ යෑම නිසා යළිත් ඉන්ධන සහනාධාරයක් ලබාදීමට සිදුවී ඇතැයි රජයේ ප්‍රකාශකයා සඳහන් කළේය.

ඒ අනුව ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල ඉහළ යාම ජනතාව මත පටවන්නේ නැතිව පවත්වාගෙන යාම සඳහා මෙම රුපියල් කෝටි 4100 ක මුදලට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිත බවද රජයේ ප්‍රකාශකයා කීය.