අධිකරණ සේවා කොමිසමේ ලේකම්  මංජුල තිලකරත්න මහතාට ගල්කිස්සේදී පහර දී මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත් සැකකරුවන් අල්ලා ගැනීමට පොලිසියට නොහැකි වී ඇතැයි ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළාය.  තම අධිකරණ බල ප්‍රදේශයේ වූ මේ පහරදීම ඉතාම බරපතල සිද්ධියක් බවත් බලපෑම් වලට යට නොවී හැකි ඉක්මණින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ඕ පොලිසියට කීවාය. ගල්කිස්ස නීතිඥ සංගමය වෙනුවෙන් කරුණු දැක්වූ අතුල රණගල මහතා පැවැසුයේ පොලිසිය පරීක්ෂණ පවත්වා ඇත්තේ  තිලකරත්න මහතාගේ පෞද්ගලික ජීවිතය ගැන සෙවීමට මිස අපරාධකරුවන් අල්ලීමට නොවන බවයි. දුරකතන පණිවුඩ සම්බන්ධ පරීක්ෂණ පිටතට දී ඇතැයි ද ඔහු කීවේය.  එවැන්නක් සිදු නොවූ බවත්, පහරදීමට ආ බව කියන වාහනයක් ගැන ලැබුණු තොරතුරු ඔස්සේ පරීක්ෂණ පවත්වන බවත් සහකාර පොලිස් අධිකාරී ධර්මදාස පතිරණ මහතා කීවේය. විභාගය ලබන 14 වැනි දාට කල් තැබිණි.