ජාවිඞ් බොන්සෝගේ (97) සහ ආසිරි වික‍්‍රමනායකගේ (85) වාර්තාගත සම්බන්ධතාව නිසා කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී ඊයේ (08) ආරම්භ වූ 133 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල කඩුලූ 9 ක් දැවී ලකුණු 325 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීය. තරගයේ පළමු දිනය වූ ඊයේ පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට රාජකීය විදුහල පළමු ඉනිම වෙනුවෙන් එක කඩුල්ලක් දැවී ලකුණු 53 ක් ලබා සිටියේය. රාජකීය විදුහල් නායක ඉමල් ලියනගේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට සාන්ත තෝමස් විදුහලට ආරාධනා කළේය. ඩෙවින් ජයසිංහ මුළු ලකුණු සංඛ්‍යාව 13 දී පළමු කඩුල්ල ලෙස දැවී ගියේය. ජාවෙඞ් බොන්සෝ සහ ආසිරි වික‍්‍රමනායක දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 179 ක වාර්තාගත සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ. මෙහිදී බොන්සෝ සහ ආසිරි වසර 132 ක ‘නිල් මහ සටන’ තරග ඉතිහාසයේ දෙවැනි කඩුල්ල සඳහා ශාන්ත තෝමස් විදුහල වෙනුවෙන් පැවැත්වූ ඉහළතම සම්බන්ධතාවේ වසර 70 ක් පැරණි වාර්තාව බිඳ දැමීමට සමත් වීම කැපී පෙනේ. සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් 1941 වසරේ ඒ. එෆ්. මොලමුරේ (113) සහ එන්. ජේ. විජේසූරිය (81) දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 161 ක සම්බන්ධතාවක් පවත්වමින් මෙහි පැරණි වාර්තාවට හිමිකම් කීහ. ජාවිඞ් බොන්සෝ පන්දු 133 කදී හතරේ පහර 15 ක් සමගින් ලකුණු 97 ක් ද, ආසිරි වික‍්‍රමනායක පන්දු 165 කදී හතරේ පහර 13 ක් සමගින් ලකුණු 85 ක් ද රැස් කළහ. සාන්ත තෝමස් විදුහල එක අවස්ථාවකදී කඩුලූ හතරක් දැවී ලකුණු 261 ක් ලබා ප‍්‍රබල තත්ත්වයක සිටි අතර දකුණතින් වේග පන්දු යවන 16 හැවිරිදි චාමික කරුණාරත්න පිට පිටම කඩුලූ දෙකක් දවා ගැනීමෙන් ඉනිම අඩපණ විය. චාමික කරුණාරත්න ලකුණු 59 කට කඩුලූ තුනක් දවා ගත්තේය. තුන්දින තරගයක් වන මෙම තරගයේ අද (09) දෙවැනි දිනයයි.

(ඡායාරූපය: ශාන්ත රත්නායක)
චමෝද් පතිරණගෙන් වේගවත් පහරක්.