(තිලකරත්න දිසානායක)

පාන් නියමිත බරින් යුක්තව තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් දිවයින පුරා විශේෂ වැටලීම් ආරම්භ කර ඇතැයි  පාරිභෝගික අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් සදහන් කරයි.

පාන් අලෙවි කෙරෙන වෙළෙඳසලේ සිට නිෂ්පාදනය කළ බේකරිය දක්වා සැපයුම් දාමය පසුපසට විමර්ශනය කෙරෙන බව ද සභාපතිවරයා කියා සිටියේය.

සිල්ලර වෙළඳසලක අඩු බර පාන් හමුවූ විට එම වෙළෙඳසල සම්බන්ධයෙන් පමණක් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමෙන් විමර්ශන කටයුතු අවසන් නොකොට මෙලෙස එම වෙළදසලට පාන් සැපයීම සිදු කළ බේකරිය හෝ නිෂ්පාදනය කළ ස්ථානය දක්වා විමර්ශන පුළුල් කිරීම මෙම වැටලීම් කාර්යයේ විශේෂත්වය බව සභාපතිවරයා පැවසීය.

පාරිභෝගිකයා ගෙවන මුදලට නියමිත බරින් යුතු පාන් ගෙඩියක් ලැබෙනවාද යන්න තහවුරු කිරීම පිනිස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය 1 වෙනි දින සිට විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහනක් ආරම්භ කොට ඇති බවත් මේ යටතේ දින තුනක් තුල සිල්ලර වෙළෙඳසල් සහ බේකරි ඇතුළුව ආයතන 118 ක් පරීක්ෂාවට කර ඇත.

දින තුනක් තුල වෙළඳසල් සහ බේකරි 54 ක බර අඩු පාන් හමු වී ඇති අතර වෙළෙඳසල් සහ බේකරි 76ක පාන්වල බර නිසි ලෙස ප්‍රදර්ශනය කර නොතිබීම මත නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සිදු කොට ඇති බවත් බර අඩු පාන් හමු වූ අවස්ථාවල සැපයුම් දාමය පසුපසට විමර්ශනය කරමින් බේකරි 81ක් පරීක්ෂාවට ලක් කර ඇති බවත් සභාපතිවරයා සදහන් කළේය.