(විමුක්ති එස් රුද්‍රිගු)

ගෝලීය බොරතෙල් වෙළෙඳපොළේ අඛණ්ඩව පහළ යෑමේ සහනය ජනතාවට ලබාදීම සඳහා පෙට්‍රල් ලීටරයක මිල පාකිස්තාන රුපියල් 74කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 67කින් පහළ දමන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් පසුගියදා ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් ඒ පිළිබඳ නිල නිවේදනය තෙක් නිකුත් වී නොතිබූ අතර නිල නිවේදනය නිකුත් වූ වහාම රුපියල් 373.78ක්වූ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 299.78ක් දක්වා පහළ යනු ඇති අතර රුපියල් 378.78ක්වූ ඩීසල් ලීටරයක මිල රුපියල් 311.78ක් දක්වා පහළ යනු ඇත.

පාකිස්තාන අග්‍රාමාත්‍ය කාර්යාලය නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ අගමැතිවරයා ජනතාවට දුන් පොරොන්දු ඉටුකරමින් ගෝලීය බොරතෙල් වෙළෙඳපොළේ බොරතෙල් මිල අඛණ්ඩව පහළ යෑමේ සහ කලාපීය ආර්ථිකය ධනාත්මකව වර්ධනය වීමේ වාසිය ජනතාවට ලබාදී තිබෙන බවයි. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමනය සම්පූර්ණයෙන් යථාතත්වයට පත්වූ පසු සහ ඇමෙරිකාව - ඉරානය අතර සාම ගිවිසුම සම්පුර්නයෙන් බලාත්මක වූ පසු පෙට්‍රල්, ඩීසල් මිල ජනතාවට දැනෙන අයුරින් පහළ දැමීමට රජය බලාපොරොත්තු වන බවද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.