(රංජිත් රාජපක්ෂ)

‘දල්ලෙන් දළුලන රටක්’ යන තේමාව යටතේ කුඩා තේ වතු හිමියන් නගා සිටුවීම සදහා මෙරට තුල පොකුරු ගම්මාන 500ක් ආරම්භ කිරිමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් (15) දින කොත්මලේ, හල්ගොල්ලගම, හපුගස්තලාව, වැව්තාවුල්ල ප්‍රදේශයේදි ආරම්භ විය.

ඊට සමගාමීව දිස්ත්‍රික්ක 11ක් ආවරණය වන පරිදි මුලික අදියර යටතේ තේ ගම්මාන 144ක වැඩ ආරම්භ කිරිමට සැළසුම් කර ඇත.

2030 වසර වන විට මෙරට නිමි තේ නිෂ්පාදනය කිලෝ මිලියන 400 දක්වාත්, තේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 2.5 දක්වා ඉහල නැංවීමේ අරමුණින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අනුබද්ධිත කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා තේ පර්යේෂනායතනය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ ජාතික වැවිලි කළමණාකරණ ආයතනය ඇතුලු ආයතන වල මූලිකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

මෙරට තේ අපනයනයෙන් වැඩිම ආදායමක් සදහා දායක වනුයේ කුඩා තේ වතු හිමියන් බවයි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා කියා සිටියේ.

මෙම අවස්ථාවට සංවර්ධන සහ සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා, නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවිරආරච්චි මහතා, නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය, නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුෂ්කා තිලකරත්න මහත්මිය, නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුලු විශාල පිරිසක් සහභාගි වි සිටියහ.