(අංජුල මහික වීරරත්න)

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිස්ටලිනා ජෝර්ජිවා  මහත්මිය ඇතුළු දූත පිරිස අතර නිල හමුව අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ මෑතකාලීන ආර්ථික මෙන්ම ස්වාභාවික ආපදා තත්ත්වයන් කළමනාකරණය කිරීමට රජය දරන උත්සාහය මෙහිදී ආචාර්ය ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මියගේ ඇගයීමට ලක් විය.

සහයෝගීතාවය සහ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමේ වැදගත්කම පෙන්වා දුන් ඇය, 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ආර්ථික වශයෙන් අවදානමට ලක්ව සිටින ප්‍රජාවන්ට එල්ල වූ දැඩි බලපෑම පිළිබඳව ද කරුණු සඳහන් කළාය.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය කීවේ සුළි කුණාටු තත්ත්වයෙන් පසු ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් අඛණ්ඩ සහයෝගය ඇගයීමට ලක් කරන බවයි.

ආර්ථිකය ශක්තිමත් කිරීම සහ සංවර්ධන ක්‍රියාවලිය හරහා ආර්ථික වශයෙන් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් වෙත සෘජුවම ප්‍රතිලාභ ලැබීමට අවස්ථාව සැලසිය යුතු බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.