(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ජයවර්ධනපුර  රෝහල් සේවා ඩිජිටල්කරණය පිළිබඳව දැඩි අවධානයක් යොමුව තිබෙන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා පැවැසීය.

දැනට රෝහල සතුව තිබෙන පරිගණක දත්ත පද්ධතියේ වත්මන් ක්‍රියාකාරීත්වය, අවශ්‍යතාවයන් සහ යාවත්කාලීන කිරිම් පිළිබඳව සොයා බැලිම සඳහා ඩජිටල් අමාත්‍යාංශයයේ විශේෂ කණ්ඩායමක් යොමු කිරිමට කටයුතු කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

එම කණ්ඩායමේ වාර්තා අනුව ඉදිරි කටයුතු කඩිනමින් සිදු කිරිමට පියවර ගන්නා බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙරට ප්‍රමුඛතම තෘතීයික සත්කාර සේවා සපයන සහ විවිධ ක්ෂේත්‍රවල ප්‍රමුඛ විශේෂඥයින් උසස් තත්ත්වයේ රෝගී සත්කාර සේවා ලබාදෙනු ලබන රෝහලක් වන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වත්මන් ප්‍රතිකාර සේවා පිළිබඳ සොයා බැලීමත්, ඉදිරි සැලසුම් පිළිබඳව කරුණු අධ්‍යයනය මෙන්ම පවතින ගැටළු හදුනා ගනිමින් එම ගැටළුවලට කඩිනම් විසදුම් ලබාදීම අරමුණු කර සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා සහ රෝහල් කාර්ය මණ්ඩල සමග පැවති සාකච්ඡාවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.

දිවයිනේ සෑම රෝහලකින්ම ලබාදෙන රෝගී සත්කාර සේවාවන් හි වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳවත්, පවතින ගැටළු පිළිබඳවත්,  එම ගැටළුවලට කඩිනම් විසදුම් ලබාදිම පිළිබඳවත්, අවධානය යොමු කරමින් මෙලෙස කාර්ය මණ්ඩල සමග අඛණ්ඩව සාකච්ඡා කර තීන්දු තීරණ ගන්නා බව විජේමුනි මහතා සඳහන් කළේය.