(විමුක්ති එස් රුද්‍රිගු)

මෙම වසරේ පළමු මාස හය තුළ බහාලුම් මෙහෙයුම් සියයට 11.9කින් ඉහළ යාමත් සමග කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට පත්ව ඇතැයි නවතම ඇල්ෆාලයිනර් දත්ත පෙන්වා දෙයි.

එම දත්ත අනුව,මෙම වසරේ ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ කොළඹ වරාය බහාලුම් ඒකක 4,444,034ක් මෙහෙයවා තිබේ.

පසුගිය වසරේ එම කාලය තුළ කොළඹ වරාය මෙහෙයවා තිබූ බහාලුම් ඒකක 3,972,053ට සාපේක්ෂව මෙය ඒකක 471,981ක වැඩිවීමකි. පසුගිය වසරේ ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල 26 වැනි ස්ථානය පසුවූ කොළඹ වරාය මෙම වසරේ පළමු භාගය වනවිට 20 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත.

කොළඹ වරාය 2025 වසරේදී බහාලුම් ඒකක මිලියන 8.3කට ආසන්න සංඛ්‍යාවක් මෙහෙයවමින් වාර්තාගත මෙහෙයුම් ප්‍රමාණයක් වාර්තා කර තිබූ අතර, මෙම වසරේ පළමු මාස හය තුළද එම වර්ධන ප්‍රවණතාව අඛණ්ඩව පවත්වාගෙන ගොස් ඇත.

ලබාගෙන ඇති මෙම ප්‍රගතිය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය ප්‍රකාශ කර සිටියේ කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වලින් විශාල කොටසක් ප්‍රතිනැව්ගත කිරීම් වන බැවින්, මෙම වර්ධනය ඉන්දියන් සාගරයේ ප්‍රධාන ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස කොළඹ වරායේ භූමිකාව තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවය.

ඉදිරි වසර 1ත් 3ත් අතර කාලය තුළ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘති සහ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් ඇතුළු ක්ෂේත්‍ර සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක් දක්වා විභව ආයෝජන ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවද වරාය අධිකාරිය පැවැසුවේය.

බහාලුම් මෙහෙයුම් හා සැපයුම් ජාල යටිතල පහසුකම් සඳහා මෙම ආයෝජන යොදා ගනිමින් ධාරිතාව, ඵලදායිතාව සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවීම අපේක්ෂා කරන බවද එම අධිකාරිය සඳහන් කළේය.