(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ලංකාවේ කියුබා තානාපතිනී පැට්‍රීෂියා ලාසාරා පෙගෝ ගුවේරා මහත්මිය  අතර සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම උදෙසා වූ  සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙහිදී, ශ්‍රී ලංකාව සහ කියුබාව අතර  දිගුකාලීන සබඳතා පිළිබඳවත්, එම සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳවත් අවධානය යොමු විය.

ශ්‍රී ලංකාව සහ කියුබාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සමීප සබඳතා සිහිපත් කරමින්, දෙරට අතර පවතින සබඳතා වැඩි දියුණු කිරීමෙහි සහ දෙරටේ සහයෝගීතාවයන් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ අතර, මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් සාර්ථක පියවරයන් මෙන්ම ඉදිරි අභියෝග ජයගැනීම සඳහා ක්‍රියාත්මක සැලසුම් ගත වැඩපිළිවෙල පිළිබඳවත් ද කරුණු පැහැදිලි කරන ලදි.

ශ්‍රී ලංකාව සහ කියුබාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දිගුකාලීන සහ ඉතා ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතාවයක් බවත්, කියුබාව සතු දියුණු මහජන සෞඛ්‍ය පද්ධතිය සහ ජෛව තාක්ෂණික  දැනුම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නංවාලීම සඳහා විවිධ අවස්ථාවලදී උපකාර කර ඇති බවද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.