(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය නොවන සංවිධානයක (NGO) නියෝජිතයකු ලෙස පෙනී සිටිමින් කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන නිලධාරීන් විසින් අත්අංඩංගුවට ගෙන තිබේ.

සැකකරු කුච්චවේලි ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකි.

ඔහු නැගෙනහිර පළාතේ තරුණ තරුණියන් රවටමින් කැනඩාවේ සුපිරි වෙළෙඳසැල් වල රැකියා දෙන බව පවසා මුදල් වංචාකරන බවට කාර්යාංශයට පැමිණිලි  ලැබී තිබුණි. එම පැමිණිලිවලට අනුව මොහු වංචා කළ මුදල රුපියල් ලක්ෂ 40 ට අධික වේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිලධාරීන් කිහිපවරක් උත්සහ කළද ඔහු විමර්ශන නිලධාරීන් මගහැර සැගව සිටීම හේතුවෙන් පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන් හා කාර්යාංශ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් එක්ව කුච්චවේලි ප්‍රදේශයේ නිවසේ සැගව සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

 මෙවැනි චෝදනා වලට අදාලව සැකකරුට විරුද්ධව මීගමුව, මඩකලපුව හා අවිස්සාවේල්ල  අධිකරණවල නඩු පවතින අතර, තවදුරටත් සැකකරුට එරෙහිව පැමිණිලි ලැබෙමින් පවතින බව කාර්යංශය පවසයි.