(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනය, පාලනය, නියාමනය, ප්‍රවර්ධනය සහ සංවර්ධනය වඩාත් විධිමත් කිරීමේ අරමුණින් සකස් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

යෝජිත නව නීති රාමුව යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා සාමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලයක් ස්ථාපිත කිරීමට යෝජනා කර ඇත.

ඒ අනුව ස්වාධීන අධ්‍යක්ෂවරුන් 7 දෙනකු සහ නිලවරණයෙන් තේරී පත්වන අධ්‍යක්ෂවරුන් 07 දෙනකුගෙන් අධ්‍යක්ෂ මණ්ඩලය සමන්විත වේ.

යෝජිත පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට වෘත්තීය දැනුම සහ විශේෂඥතාව සහිත පුද්ගලයන් එක් කර ගැනීම සඳහා ද අවස්ථාව සලසා තිබේ. ගිණුම්කරණ හා මූල්‍ය, නීති, අලෙවිකරණ, තොරතුරු තාක්ෂණය සහ ක්‍රිකට් පරිපාලනය ඇතුළු ක්ෂේත්‍රවල වෘත්තීය දැනුම සහ අත්දැකීම් සහිත පුද්ගලයන්ට ස්වාධීන අධ්‍යක්ෂ තනතුරු සඳහා අවස්ථාව හිමිවන පරිදි නව පරිපාලන ව්‍යුහය යෝජනා කර ඇත.

එමෙන්ම යෝජිත අධ්‍යක්ෂ මණ්ඩලයේ ස්වාධීන අධ්‍යක්ෂවරුන් අතරින් අවම වශයෙන් කාන්තා අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු සිටිය යුතු බවට ද පනත් කෙටුම්පතේ විධිවිධාන ඇතුළත් කර තිබේ.

යෝජිත නව පරිපාලන ව්‍යුහය යටතේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ  ධුර කාලය වසර 4 කි.

එමෙන්ම නිලවරණයෙන් තේරී පත්වන අධ්‍යක්ෂවරුන්ට සේවය කළ හැකි උපරිම සමස්ත ධුර කාලය වසර අටකට සීමා කිරීමට ද යෝජනා කර තිබේ. 

යෝජිත පනත් කෙටුම්පත අනුව අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා ස්වාධීන අධ්‍යක්ෂවරුන් අතරින් ද, නියෝජ්‍ය සභාපතිවරයා නිලවරණයෙන් තේරී පත්වන අධ්‍යක්ෂවරුන් අතරින් ද තෝරා ගැනීමට නියමිතය.