මසකට ඉහතදී කොළඹ ව්‍යාපාරිකයකුට අවි පෙන්වා රුපියල් කෝටි තුනක් පමණ මැණික් පැහැරගත් සැකකරුවන් සිව් දෙනකු, එම මැණික් ද සමග අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිස් නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය කියයි.
සැකකරුවෝ අනුරාධපුර, ඇඹිලිපිටිය, වැල්ලම්පිටිය සහ වේයන්ගොඩ කොරස ප්‍රදේශයේ පදිංචි කරුවෝ වෙති.
අතර නිල්කැට, එමරල්ඩ් (පච්ච), ක්‍රිසොබෙරිල්, රතුකැට, පසිංගල්, ආර්නූල් සහ දියමන්ති ද වන බව පොලීසිය කියයි.
පසුගිය දෙසැම්බර් 18 වැනිදා මහනුවර ව්‍යාපාරික කටයුත්කට යැයි කියමින් ව්‍යාපාරිකයා රවටා රැගෙන ගොස් දොම්පේ පහුරුවිලදී උල් පිහි පෙන්වා මැණික් ද, ඔහු පැළැඳ සිටි රුපියල් ලක්ෂ තුනක පමණ රන් බඩුද කොල්ලකෑ සැකකරුවන් ව්‍යාපාරිකයා මග දමා ගොස් ඇතැයි ද ඉන් පසු ඔහු විසින් ළඟම ඇති දෝම්පේ පොලීසියට පැමිණිලි කැර ඇතැයි ද කියති.
මැණික් කොල්ලයක් සිදුව ඇති බවට දොම්පේ පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බව දැනගත් ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතා වහාම ඒ ගැන පරීක්ෂණ පැවැත්වීම නොවිසඳුණු අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක කේ එස් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමකට භාර කැරිණි.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමට සැකකරුවන් පැමිණි වාහනය ගැන තොරතුරක් ලැබී ඇත. ඒ අනුව සැකකරුවන් ගම්පහ යක්කලින් කුලී පදනම මත ගත් වාහනය පොලිස් බාරයට ගත් නොවිසඳුණු අපරාධ විමර්ශන අංශ නිලධාරීහු ලැබුණු තොරතුරු අනුව සැකකරුවන් සොයා විවිධ ප්‍රදේශවලට ගියහ.
ඇඹිලිපිටිය, චීන වරාය, ත්‍රිකුණාමලය, අනුරාධපුර, හොරව්පතාන ආදී ආදී ප්‍රදේශවල ගිය පොලිස් නිලධාරීහු මාසයක් ඇතුළත සොරකම් කළ කෝටි තුනක මැණික් ද සමග සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඔවුහු සමත් වූහ.
වේයන්ගොඩ කොරස, අනුරාධපුර, ඇඹිලිපිටිය ප්‍රදේශවල පදිංචි සැකකරුවන් තිදෙනා වයස අවුරුදු 25ත් 29ත් අතර පසුවන්නෝ වෙති. වැල්ලම්පිටියේ පදිංචි සැකකරු 42 හැවිරිදි අයෙකි.
ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී සදසිරි බණ්ඩාර මහතාගේ ද සහායෙන් නොවිසුණු අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ එස් කරුණාරත්න, පොලිස් සැරයන්වරුන් වන 26952 වසන්ත, 64950 නිමල්සිරි පොලිස් කොස්තාපල්වරුන් වන 12840 ජනක, 55466 සෙනවිරත්න, 68073 ඉසුරු යන නිලධාරීහු විමර්ශන පැවැත්වූහ.
කොළඹ පදිංචි එම ව්‍යාපාරිකයා ලංකාදීපය මෙසේ පැවැසීය.
‘නොවැම්බර් අන්තිම මට මගේ හිතවතකු මැණික් ව්‍යාපාරිකයකු බව කියන තරුණයකු හදුන්වා දුන්නා. අපි දවස් තුන හතරක් අපේ ගෙදරදි හමුවුණා. ඒ තරුණයා කිව්වා විදේශිකයන් පිරිසක් ඇවිත් මහනුවර ඉන්නවා. ඔවුන් මැණික් ගන්න කැමතියි අපි 18 වැනිදා ‘බිස්නස් එක‘ කරමු කියලා.
ඊට පස්සේ 18 වැනිදා ඔහු කාරයකින් ආවා. මා ළඟ මැණිකුයි යාළුවෙකුගෙන් ඉල්ල ගත්ත මැණික් ද සමග රුපියල් කෝටි තුනක විතර මැණික් අරගෙන ගියා. ඊට පස්සේ මගදී තව තුන්දෙනෙක් ඉන්නවා එයාලත් දාගත්තට කමක් නැද්දැයි ඇහුවා. මම හා කිව්වා. කාරය පදවගෙන ගියේ ‘බිස්නස් එක‘ කතාකරපු එක්කෙනා.
කාරයේ පිටිපස්සේ මා මැද්දට කර දෙන්නෙක් දෙපැත්තෙන් වාඩිවෙලා හිටියේ. දොම්පේ පහුරුවිල හරියේදි කට්ටියම උල් පිහි අැද මාගේ බෙල්ලට තබා මැණික් ඔක්කොම උදුර ගත්තා. මගේ අතේ තිබ්බ රුපියල් ලක්ෂ තුනක විතර රත්තරන් මුදුත් ගලවගෙන මා මග දාලා ගියා.‘
ව්‍යාපාරිකයාගේ රන් මුදු කුරුණෑගලට විකුණා ඇති බවට ලද තොරතුරකට අනුව ඒවා සොයා වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ ව්‍යාපාර කරන අය මීට වඩා පරිස්සම් විය යුතුයි. ජීවිතය බේරුණා ඇති. පොලීසියේ මහත්වරු හට අපගේ ප්‍රණාමය. (ත)
පොලිසියට මල්. මුදලාලිට ගල්. හොරු නිකන් පල්. (නි)
පොලීසිය ස්තූතියි (ස)
පොලීසියට ප්‍රණාමය..කොල්ලකාරයෝ හඳුන්වා දීපු යාලුවා ගැනත් ටිකක් බලන්න වෙයි..(ස)
මෙන්න වැඩ. අපේ ප්‍රණාමය(ස)
නියමයි පොලිස්. (නි)
කිසි කෙනෙක්ව විශ්වාස කරන්න බැරි මේ කාලයේ මීට වැඩිය ප්‍රවේශම් වියයුතුයි. (නි)
පොලීසියට මල්....මුදලාලිට ගල් (ස)
හදිසියේ හමුවී මිතුරු වෙන අය ගැන එක්වරම විශ්වාස කිරීම කොතරම් අනුවණ දැයි මෙයින් වැටහෙනවා. ඒත් ලොකු ලාභයක් වෙනවා කිව්ව ගමන් අපේ කට්ටියට ඕවා මතක් වෙන්නේ නැහැ. පොලිසියට මෙහිදී ගෞරවය හිමිවිය යුතුයි. දේපාලන බලපෑම් නැති හැම විටම පොලිසිය අපරාධකරුවන් කොටු කර ගන්නවා. (නි)
මේවට නම් කවුරුත් මොනවත් කියන්නෙ නැහැ. පොඩ්ඩක් වැරදුනා නම් බලන්න තිබුණා. (නි)
අද කාලේ තමන්ගේ දෙයක් තමන්ට හැද පැලඳගෙන පාරේ බැහැල යන්න නෑනේ.හැම තැනම හොරු..හරිම අවාසනාවක් (ස)
කෝටි 3ක මැණික් අරගෙන වෙන කෙනෙක් අඳුන්වා දුන් නොදන්නා "බිස්නස්"කාරයෙක් එක්ක මේ තරම් දුරක් තනියම යන්න තරම් හිතුනෙ මෝඩකම නිසාද? මැණික් ටික ලැබුණට වඩා ජීවිතය බේරීම ගැන සතුටු විය හැකියි නේද? මේ මංකොල්ල කාලා මග දාලා යන කාලෙකුත් නෙවෙයි. (නි)
ලංකාවේ පොලිසිය මේවගේ අපරාධ විසදන්න ඇත්තටම දක්ෂයි.. හැබැයි වැඩේ තියෙන්නේ ලොකු ලොකු වරෙන්තුකාරයෝ අපරාධකාරයෝ ඇස්පනාපිට ඉන්නවා ඒ අයව අල්ලන්න අත්අඩංගුවට ගන්න බැරි මොකක්දෝ බාධාවක් තියෙනවා, මේ මහත්තයගෙත් හොදවෙලාවට හොරු ටිකට කිසිම දේශපාලන සම්බන්ධ කමක් තිබිලා නැහැ (ස)
දක්ෂ ලෙස මෙය විසඳූ පොලිස් නිලධාරී මහත්වරුන්ට රටේ ජනතාවගේ ප්‍රණාමය. හිමි වේවා. ජයවේවා ! (ස)
කව්තුගගර හොරු අල්ලන්නත්, මේ උත්තමයන්ට බර දුන්නානම් ගොඩ. (ත)
කෝටි තුනක්, අම්මෝ (දී)
අදකාලේ ලංකාවේ කාර් එකක් පාරේ නතරකළ යන්න බෑ... මාළයක් දාගෙන පාරේ යන්න නෑ.... කාන්තාවකට පාරේ තනියෙන් යන්න එන්න නෑ... කෝ ප්‍රජාතන්ත්‍රවාදය? (ස)
කොහොම උනත් මේ මනුස්සයා මරලා දාලා නැත්තේ හොඳ හොරෙක් වෙන්න ඇති (ස)
මෙය සොයා ගැනීමට කැප වූ සැම අගය කල යුතුයි. අගය කිරීමට කිසි විට ප්‍රමාධ නොවෙමු (ස)
මේවා බය නැතුව කරන එකනේ වැඩේ . ඕවට රටේ නීතියක් නෑ....ඒකයි (ස)
අර මාරසිංහ කියන්නක් වගේ ඒ මනුස්සයා නොමැරී බේරුණා ඇති. (ත)