(විමුක්ති එස් රුද්‍රිගු)

ඊජිප්තු ප්‍රකට රූපවාහිනී නිවේදිකාවක වන සාරා කලීෆා ඇතුළු පුද්ගලයන් 12 දෙනකුට කයිරෝ අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය පසුගියදා වාර්තා කළේය.

මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සහ ජාවාරම් කිරීම යන චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් කරමින් කලීෆා ඇතුළු 12 දෙනාට කයිරෝ අධිකරණය මරණ දඬුවම නියම කර ඇත.

සාරා කලීෆා 39 හැවිරිදි වියේ පසුවන අතර ආරක්ෂාව සහ අපරාධ සම්බන්ධ ගැටලු පිළිබඳව අවධානය යොමුකරන "මිෂන් ඉම්පොසිබල්" නම් රූපවාහිනී වැඩසටහනේ නිවේදිකාව වන අතර ඇය ඒ ඔස්සේ ඊජිප්තුවේ ප්‍රසිද්ධ වී තිබේ. ඊජිප්තුවේ අල්-අහ්රාම් පුවත්පත වාර්තා කර ඇත්තේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය විදේශයන්ගෙන් ලබාගෙන ඒවා ජාවාරම් කිරීම සඳහා සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් පිහිටුවීම, එම ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සහ බලපත්‍ර රහිත ගිනි අවි හා පතොරම් ළඟ තබා ගැනීම යන චෝදනා යටතේ විත්තිකරුවන්ට මෙම මරණ දඬුවම නියම කර ඇති බවයි.

මරණ දඬුවම සම්බන්ධයෙන් අධිකරණය ඊජිප්තුවේ ග්‍රෑන්ඩ් මුෆ්තිවරයාගේ ආගමික මතය විමසා ඇති අතර, එය එරට නීතිය යටතේ මරණ දඬුවම් නියම කරන නඩු සඳහා අනිවාර්ය ක්‍රියාපටිපාටියක් බව සඳහන් වේ.