(කේ. බුද්ධික කුමාරසිරි)

පෞද්ගලික ආරවුලක් මත එකම පවුලකට අයත් නිවාස තුනක් ගිනි තබා රුපියල් කෝටි දෙකකට ආසන්න අලාභයක් සිදුකර පලා ගොස් සිටි සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.

සැකකරු විසින් අතුරුගිරිය එක් නිවසක් සහ මොරගහහේන ප්‍රසේශයේ නිවාස දෙකක් ගිනි තබා විනාශ කර තවත් පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල සිදුකර ඇතැයි ද පොලිසිය පවසයි.

මෙම සැකකරු සමීප සම්බන්ධතාවයක් පැවැත් වූ කාන්තාවක් ඇයගේ දරුවන්ගේ අකමැත්ත මත සම්බන්ධය නැවැත්වීමට කටයුතු කිරීම නිසාවෙන් උරණ වූ සැකකරු ඇයට අයත් මොරගහහේන නිවසද ඇයගේ එක් පුතෙකුට අයත් ඒ ආසන්නයේම පිහිටි තවත් නිවසක් සහ කාන්තාවගේ වැඩිමහල් පුතකුට අයත් අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි නිවසක් ද මෙලෙස ගිනි තබා විනාශ කර ඇති බවත් අනතුරුව සම්බන්ධතාවයට විරුද්ධ වූ එක පුතකුට තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල සිදු කර තිබූ බවට අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

ලද පැමිණිල්ලක් මත ක්‍රියාත්මක වී සැකකරු අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.