ඉදුරුව යාලේගම ජර්මන් ජාතික යුවළකට අයත් නිවාඩු නිකේතනයක නාන කාමරවල තිබී පෙරදින (21) රාත්‍රී පොලීසියට බාරයට ගත් බුද්ධ ප්‍රතිමා සහ දේව ප්‍රතිමාවල පුරාවිද්‍යා වටිනාකමක් ඇත්දැයි දැනගැනීමට ප්‍රරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන බව කොග්ගොඩ පොලීසිය කියයි.

එම නිවාඩු නිකේතනයේ අයිතිකාර ජර්මන් ජාතික යුවළ පොලිසියට කැඳවා ප්‍රකාශයක් ලියාගෙන් මුදා හළ බව ද පොලීසිය පවසයි.

පුරා විද්‍යා වටිනාකමක් ඇතැයි සිතිය හැකි බුද්ධ ප්‍රතිමා දහයක් සහ ගණ දෙවි ප්‍රතිමාවක් නිවාඩු නිකේතනයේ තිබී හමුවිය.

සිංහල රාවය ජාතික සංවිධානයට ලැබුණු තොරතුරක් අනුව සංවිධානයේ හිමිවරුන්   පොලීසිය සමග නිවාඩු නිකේතනයට ගොස් මේ බුද්ධ ප්‍රතිමා නුසුදුසු තැන්හි තබා තිබෙනු සොයා ගත්තේය.

සිංහල රාවය සභාපති හිටපු මන්ත්‍රී අක්මීමන දයාරතන හිමි, බේරුවල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මාගල්කන්දේ ධම්මානන්ද හිමි හා මගල්කන්දේ සුදත්ත හිමිවරු එම පිළිම ගැන පොලීසියට තොරතුරු දුන්හ.