(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනිද්දා(13) සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව නව ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ බෙදීමක් ඇති නොවී මේ දෙදෙනාගෙන් අයකු ජනාධිපතිවරයා ලෙස එකඟතාවකින් පත්කර ගැනීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකයන් අතර මේ වන විට සාකච්ඡාවක් ද ආරම්භ වී ඇත.
මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් තලතා අතුකෝරල මන්ත්‍රීවරියගේ නුගේගොඩ පිහිටි නිවසේ ඊයේ (10)පස්වරුවේ පවත්වා ඇති අතර,සමගි ජන බලවේගය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රමුඛ ස්වාධීන කණ්ඩායම,සහ හවුල් පක්ෂ නවයේ කණ්ඩායම ඇතුළු පක්ෂ හා කණ්ඩායම් රැසක් ඒ සඳහා සහභාගි වී ඇතැයි දැනගන්නට තිබේ.
රට තුළ ඇතිව තිබෙන බරපතළ දේශපාලන හා ආර්ථික අර්බුදය හමුවේ පාර්ලිමේන්තුවේ බෙදීමක් ඇති නොකර මේ දෙදෙනාගෙන් අයකු ජනාධිපතිවරයා ලෙසත්, අනෙක් කෙනා අගමැති ලෙසත් පත් කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී ඇතැයි දැනගන්නට තිබේ.
මේ අතර, හවුල් පක්ෂ නවයේ කණ්ඩායම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී ඊයේ පෙරවරුවේ රැස්වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.
අතුරලියේ රතන හිමි ද ,විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, මහාචාර්ය තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර ,විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, වීරසුමන වීරසිංහ , ප්‍රේමනාත් දොලවත්ත,මොහොමඩ් මුසම්මිල්, ඒ එල් එම් අතාවුල්ල, ගෙවිදු කුමාරතුංග යන මහත්වරුද ඊට සහභාගි වූහ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටත් වහාම ඉල්ලා අස්වන ලෙස බල කිරීමට ද එම සාකච්ඡාවේදී තීරණය කර ඇත.
මේ අතර ,නව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ විශේෂ සාකච්ඡාවක් ද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක නිල නිවසේ දී අද (11) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
ජනාධිපතිව ගෝඨාභය රාජපක්ෂ මහතා අනිද්දා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව කතානායකවරයාට මේ වන විටත් ලිඛිතව දැනුම් දී ඇත.
අනතුරුව වැඩබලන ජනාධිපතිවරයා ලෙස කතානායකවරයා පත් වන අතර,මේ සතියේ හෝ ලබන සතියේ දී පාර්ලිමේන්තුව රැස්වී නව ජනාධිපතිවරයා පත් කර ගැනීමට නියමිත බව දැනගන්නට ඇත.
මේ අතර, සියලු පක්ෂ සම්බන්ධ කර ගනිමින් අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ද දේශපාලන පක්ෂ නායකයන් අතර සාකච්ඡා වට ගණනාවක් මේවන විට පවත්වා ඇත.
මේ අතර, ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඔහුට සහාය ලබාගැනීමේ උත්සාහයක් ද මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින බව දැනගන්නට ඇත.
COMMENTS
ඩලස් එපා. එය සුදුසු නැහැ. පොහොට්ටුවේ කෙනෙක්...!
පොහොට්ටුවේ හිටිය කිසිකෙනෙකුට සම්බන්ධ වෙන්න එපා. එහෙම වුණොත් ආපහු පොහොට්ටු මගෝඩි දුරදිග යයි.
බැසිල්ගේ කොන්ත්‍රාත් ඉටු කරන්නේ නැතුව ඉන්න...!
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනිද්දා (13) සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව නව ජනාධිපති ධුරයට පත්ව තනතුරු බාරගැනීමට නොව ඉදිරියේදී රට කරගෙන යනු ලබන්නේ සහ ජනතාවට සහන ලබාදෙනු ලබන්නේ කෙසේදැයි කියා බරපතල වගකීමක් සහ වගවීමක් ඔවුන් ඉදිරියේ තිබේ. ජනාධිපති ධුරයට සුදුස්සා නම් වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. ඔහුට තිබෙන්නා වූ අත්දැකීම් වර්තමාන පාර්ලිමේන්තුවේ වෙන කිසිවකුට නොමැත. වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් නොවන්නේ නම් තනතුරු සහ බලය වෙනුවෙන් සටන් කරන්නා වූ ඕනෑම කෙනෙකුට අවසථාව ලබාදී මැතිවරණයක් පවත්වන තුරු ඔවුන්ගේ හැකියාවන් බලාසිටීමට ජනතාවට සිදුවේ...!
ව්‍යවස්ථාවට අනුකූලව මේ දෙන්නාවම නෙවෙයි පත්කළ යුත්තේ කතානායකයවයි. ඉන්පසු මැතිවරණයකින් අලුත් කෙනෙක් තෝරාගත යුතුයි. නැතුව සජිත් වගේ කෙනෙක් පත් කරගන්නවා නම් ඊට වඩා ෆේල් වුණු ගෝඨාභය ලක්ෂ වාරයක් හොඳයි. සජිත් ඇවිත් අපේ දෑත් ශක්තිමත් කරලා ගම්මට්ටම්, බිම්මට්ටම්, තම්මැට්ටම් කරලා උස නම් සිකුරුටි, මිටිනම් කම්කරු කරලා රටම රස ආකාරයක් විනෝද සාගරයක් කරලා දෙයි.
ජනතාව ෆොන්සේකාට කැමැත්ත තියෙනවා කියලා පේනවා. එනිසා ඔහුට ජනාධිපති තනතුර දීමට අදහස් කළොත් හොඳයි.
මේ දෙදෙනාගෙන් එක් අයකු පාර්ලිමේන්තු එකඟතාවයකින් තේරී පත්වීම නම් ගැටළුවක් නැහැ. හැබැයි වෙනත් අයෙකු නිල බලයෙන් තනතුරේ දිගටම රැඳී සිටියොත් අරගල කරුවන්ගේ අනේකවිධ දුක් මහන්සිය වතුරේ ගියා වෙනවා.
අපට අවශ්‍ය බඩගින්නට මාළු වෙනුවට බිලී පිත්තක් දෙන්න පුළුවන් නායකයෙක්. විශේෂයෙන්ම මේ වගේ අසීරු අවස්ථාවක විහිළු සපයන්නන් අනවශ්‍යයි.
ඕකට ඩලස් හරියන්නෙත් නෑ. සජිත් හරියන්නෙත් නෑ... ඒ කෙසේවෙතත් විමලෙවයි, එයාගෙ ඇම්බැට්ටයින්වයි ඔය වැඩේට ගාවගත්තොත් වැඩේ අන්තිමට අලවෙනවා සිකුරුයි...
මේ ඩබලම එපා...
සජිත් ගැන අමුතුවෙන් ලියන්න ඕනෑ නෑ. ඩලස් කියන්නේ රාජපක්ෂ රෙජීමයේ තුන්වෙනි වලල්ලේ ඉන්න කෙනෙක්. වැරද්දක් දැක්කාම කෙලින් කතාකරගන්න බැරි / එකේ වගකීම් ගන්න බැරි කෙනෙක් නායකයෙක් හැටියට පිළිගන්න බෑ. හොරකන් නොකළාට හොරකම් වෙනවා දැන දැනත් නොදක්කා වගේ ඉන්න උගත්කමක් ඔවුන්ට තියෙනවා..
ඔය එක්කෙනෙක්වත් එපා. ක්‍රමය වෙනස්කිරීමට අවංකව කැපවෙන කෙනෙකු ජනාධිපති කරන්න.
සජිත් සහ ඩලස් යන දෙදෙනා එක්වී සාකච්ඡා කොට එකඟතාවයක් ඇති කරගෙන ඉදිරියට යාම ඉතා ඉක්මණින් කළයුතු සුදුසුම ක්‍රියාවක් යයි සිතමි.
සජිත් එපා. පාඨලී හෝ හර්ෂ සුදුසුය. ඩලස්ට වැඩි බලයක් ඇති නිසා ඔහු තේරේවි...!
මේ දෙන්නටම වඩා පතෝල කරලක් සුදුසුයි...
ජනාධිපති පදවියට සිටින්නේ මේ දෙදෙනා නම් ඩලස් වඩාත් සුදුසුයි.
ඉතා සුළු මුදලක වියදමින් මෘදුකාංගයක් යොදාගෙන මේ මොහොතේ වුවද ඡන්දයක් පැවැත්විය හැක...
බහුතරය ඇත්තේ බැසිල්ගේ පක්ෂයේ බැවින් එය තීරණය කරනු ඇත්තේ ඔහු විසින්ය. අගමැති ජනාධිපති දෙදෙනාම පොහොට්ටුවෙන් පත්වනු ඇත. ශ්‍රීලනිපය, විමල් කණ්ඩායම එයට සහාය දෙනු ඇත. ඇමැතිවරුද එලෙස පත්වනු ඇත.
ආ... එහෙනම් අලුත් ගමක් හදන්න තමයි. මොවුන් දෙන්නාගෙන් කවුරුවත් එපා.
අරගල කලේ ඔයටික කරන්නද? කන්දක් විලිලා මීයෙක් වැදුවා කියන ආප්තොපදෙශය මතක් වෙනවා. එතකොට අනුර මහතා?
අනුර අැරෙන්න කවුරු අාවත් කමක් නෑ. ඇනිත් එක 3% චන්ද අරගත්ත පක්ශෙක නායකයෙක් කොහොමද ජනාදිපති වෙන්නෙ?
මාස 3ක් තිස්සේ දුක් වින්දේ අරගල කළ තරුණයින්... සජිත්ව ඔය පුටුවේ තියන්න නොවේ...
ඔය ඩබලම එක වල්ලෙ පොල්. දවසකටවත් රටේ නායකත්වයට සුදුසු නෑ. වෙන කවුරුවත් ඇත්තේම නැද්ද?
එතකොට අනුරද අරගලයේ නායකයා...?
සජිත්ට නම් හොඳ කණ්ඩායමක් ඉන්නවා. රටට යමක් කරන්න පුළුවන්. ඩලස් මොනවා කරන්නද දන්නේ...පිස්සු? අනික හොර තක්කඩි රැල වටකරන් ඉන්නේ...!
ජනාධිපති ධුරය සඳහා මහචාර්ය ජී.එල්. පීරිස්. සුනිල් හඳුනෙත්ති අගමැති සඳහා වඩාත් සුදුසුයි. සජිත් අරගලේ දවසේ බොරු ලෙඩඅරගෙන ඉස්පිරිතාලේ නැවතුණා..
අනුර අංක 1ට එයි.. ඡන්දයක් තියලා බලන්න මල්ලී? 69% ගත්තු පොරට වෙච්චි දේ දැක්කානේ...!
සජිත්ව පත්කර ගනිමු. මහ මැතිවරණයක් එනතුරු රටේ ප්‍රශ්න විසඳන්න. එයත් රනිල් වගේ වුණොත් මහ මැතිවරණයකදී අනුරව පත්කර ගනිමු.
සජිත් පුතානෝ නම් එපා . ඩලස් හෝ SFහොඳයි.
මම නම් පාරට බැස්සේ, අරගලකලේ සජිත් වගේ කෙනෙක් වත් මුලු රටම බොරුවෙන්, කපටිකමෙන් ජනතාව රැවටූ ඩලස් වැනි කෙනෙකු රජ කරවීමට ඒ අරගලයට කරනා නින්දාවයි...!
අනිවාර්යයෙන් සරත් ෆොන්සේකා මහත්තයා හොඳයි. කෙලින් මිනිහෙක් ඕනේ මේ වෙලාවේ. පුතාණෝ, පියාණෝ මොනවා කරන්නද? අනුර ඕනේම නම් අගමැති කරලා ෆොන්සේකා මහත්තයගේ ෆයිල් පෙරලන්න කියමු. එයාට වැඩක් කරන්න අමාරුයි. ඒ වැඩේ හොඳටම කරනවා.
මේක හිසරදේට කොට්ටෙ මාරුවක්. කෙසේවෙතත් දෙවැනි ජනමනාපය සජිත්ට තියෙන්නේ. ඒ නිසා සජිත් තේරීම වඩා සාධාරණයි. අගමැතිකමට දිනේෂ් වගේ නිවුණු චරිතයක් සුදුසුයි. මේ මොනවා කළත් මැතිවරණයකට යාම හැර එක එක මූණු ගේන එක... පරණ අරක්කු අලුත් බෝතලයකට දැම්මා වගේ දෙයක්...
ඩලස් රාජපක්ෂලාගේ ගෝලයා... සජිත් රනිල්ගේ ගෝලයා. අන්තිමේ අපට වෙන්නේ ඉල්ලන් කෑවා වගේ වැඩක්...
ඉදිරිපත් වෙන්න කැමති කට්ටිය එකතු කරල කොටුවෙ දුම්රියපොල ලග ඉදල ගෝටගෝගමට පයින් යන්න කියන්න. ඉතුරු වෙන එකාව පත්කරමු.