අවුරුදු 15 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම සඳහා වන පනත් කෙටුම්පත ප්‍රංශ පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒ අනුව, අවුරුදු 15 ට දරුවන්ට, සමාජ මාධ්‍ය යෙදවුම් තහනම් කළ පළමු යුරෝපීය සංගමයට අයත් රට බවට ප්‍රංශය පත් වෙයි.

පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු සැකසුණු නව නීතියට අනුව, එළැඹෙන සැප්තැම්බර් 1 වැනිදා සිට, නව පාසල් වාරය ආරම්භයත් සමග, වයස අවුරුදු 15 ට අඩු දරුවන්ට අලුතින් සමාජ මාධ්‍ය ගිණුම් ආරම්භ කිරීම කළ නොහැකිය.

ලබන 2027 ජනවාරි මාසයේ සිට දැනට පවතින ගිණුම් සඳහා ද මෙම තහනම සෘජුවම බලපැවැත්වෙනු ඇතැයි ද පැවැසෙයි.
විවිධාකාරයේ විෂමාචාර නැවැත්වීමේ අරමුණින්, මෙලෙස අවුරුදු 15 ට දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට කටයුතු යෙදුණේ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ සංකල්පයකට අනුවය.

මේ වනවිට රටවල් කීපයක් මේ අයුරින්, දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් පනවා ඇත. පළමුවෙන්ම අවුරුදු 15 ට අඩු දරුවන්ට ෆෙස්බුක්, ටික්ටොක්, යූටියුබ් වැනි සමාජ මාධ්‍ය තහනම් කළ රට ඕස්ටේ්‍රලියාවය.

ඉන්දුනීසියාව සහ මැලේසියාව අවුරුදු 16 ට අඩු දරුවන්ට හානිකර යැයි සැලකෙන යෙදුම් භාවිතය තහනම් කර ඇත. බ්‍රසීලය අවුරුදු 16 ට අඩු දරුවන්ට, මාපිය අවසරයකින් තොරව සමාජ මාධ්‍ය භාවිතය කළ නොහැකි ලෙස තහංචි පනවා තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය ගිණුම් නිර්මාණය කිරීම හෝ භාවිත කිරීම තහනම්ය.
කැනඩාව, සහ සෙසු යුරෝපා රාජජ්‍යයන් වන එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය සහ ඉතාලිය ද අවුරුදු 15 ට අඩු සඳහා මෙවැනි තහනම් කිරීමට නව පනත් සම්මත කිරීමට අවධානය යොමු කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.