
(නිමල කොඩිතුවක්කු)
වර්ෂයක පොල් ඵලදාව දළ වශයෙන් පොල් ගෙඩි මිලියන 3000ක් වුවත් පසුගිය 2024 වර්ෂයේ දී එය මිලියන 300කින් පමණ අඩු වීම පොල් මිළ ඉහළ යාමට හේතු වූ බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා කොළඹදී පැවසීය.
සතුන්ගෙන් සිදුවන හානි, රටේ පවතින කාලගුණික හා දේශගුණික බලපෑම මෙන්ම පොල් ගසට අත්‍යවශ්‍ය පෝෂණ ගැටලු පසුගිය වසරවලට සාපේක්ෂව 2024 වර්ෂයේ දී පොල් ඵලදාව කැපී පෙනෙන ලෙස අඩු වීමට හේතු වූ බවත් සභාපතිවරයා සඳහන් කළේය.
පොල් මිල ඉහළ යාම, පොල් නිෂ්පාදනය අඩුවිම ඇතුළු පොල් වගාකරුවන් වෙත ලබා දෙන සහන සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කීවේය.
තාක්ෂණික මෙන්ම කළමණාකරණ කරුණු පොල් ඵලදාව අඩු වීමට ප්‍රධාන වශයෙන් බලපෑ බවත් එම ගැටළු හඳුන ගනිමින් ඒවාට කඩිනම් විසදුම් දීමට පොල් වගා කිරීමේ මණ්ඩලය පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
පොල් ගසට අත්‍යවශ්‍ය පෝෂණය ලබා දීම, ගසට අවශ්‍ය ජලය ලබා දීම, ගස රැකබලා ගැනීම ඇතුලු කාරණා නිසි ලෙස ඉටු නොවීම පසුගිය වර්ෂයේ දී අස්වැන්න අඩුවීමට බලපෑ බවද සභාපතිවරයා පැවසීය.
රටේ පවතින කාලගුණික හා දේශගුණික බලපෑම පොල් වගාව සඳහා සෘජුවම බලපෑ බවත් පසුගිය වර්ෂයේ පැවති අධික උෂ්ණත්වය හා අධික වර්ෂාව පොල් අස්වැන්න අඩු වීමට හේතු වූ බවද ඔහු සඳහන් කළේය.
සතුන්ගෙන් සිදුවන හානි විශේෂයෙන් පොල් වගවට බලපාන බවත් පසුගිය වර්ෂයේදී රිලවුන්, දඬුලේනන්ගෙන් සහ කෘමි උවදුරු හේතුවෙන් පොල් ඵලදාව විශාල ලෙස අඩු වූ බවත් සභාපතිවරයා කීවේය.
මෙම වසරේදී ඒම උවදුරු වැළැක්වීමට විශේෂ ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.
පොල් ඵලදාව ඉහළ දැමීමේ අරමුණින් මෙම වසර තුළ පොල් පැල ලක්ෂ 25ක් සිටුවීමට සැලසුම් කර ඇතැයි ද පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම රටේම ගොවිජන සේවා මධ්‍යස්ථාන ගැන දන්නේ නැහැ. මම ලියන්නේ නෙටොල්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානය ගැන, මේකේ නිලධාරීන් 100කට අධික ප්‍රමාණයක් සේවය කරන බව පෙනීයනවා. නමුත් පොල් සංවර්ධන නිලධාරීන් සිටින්නේ එක්කෙනෙකු පමණි. ඔහු කාර්යාලයේ සිටින්නේ සඳුදා උදේ වරුවේ පමණි. සඳුදා උදේත් ඔහු සිටින්නේ පැය 2-3 පමණි. මේ ගොවිජන සේවා මධ්‍යස්ථානය සතුව පැල තවාන් නොමැති අතර දැනට වසර 6 කට පමණ පෙර මා විමසු අවස්ථාවේ මොහු විසින් පුද්ගලික පැල තවානක ටෙලිෆෝන් නොම්මරයක් දෙන ලදී... උසස් වර්ගයේ පොල් කියලා දුන් පැලවලින් භාගයක් පමණ තවම ගෙඩි සැදී නොමැති අතර මේවා සාමාන්‍ය පොල් පැල බව පෙනේ... මොහුගෙන් හරි උපදෙස් නොලැබෙන අතර මේ ප්‍රදේශයේ පොල් වගාවේ මොහුගේ වගකීමක් නොමැති ක්‍රියාකලාපය තුල අභාවයට යමින් පවතින බව කණගාටුවෙන් වුවද සදහන් කරන්න ඕනේ...
කුරුම්බා වතුර සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන පිටරට යවන එක වහාම නතර කරන්න , අද රටේ පොල් ගෙඩිය 200 කි , හැමදේටම වැඩිය රටේ ආහාර සුරක්ෂිත කිරීම රජයේ යුතුකමකි.
නෙටොල්පිටියේ ගොවිජන සේවා එකේ පොල් නිලධාරියා පමණක් නොවේ. ඔක්කෝම කම්මැලි හොරු, ඇඳුනුම් කමක් නැතිනම් හෝ පගාවක් නොදී වැඩක් කරගන්න බැහැ. ලෝකේ නැති බොරු කියමින් මිනිස්සු රස්තියාදු කරනවා. ඉස්සර මිනිස්සු පාර පැනලා මධ්‍යස්ථානේ ඉස්සරහා පදිංචි වෙලා ඉන්න ලාලිත මහත්තයා (ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති) හම්බවෙලා දුක කීවාම ඔහු කෝල් එකක් දීලා අදාල නිලධාරියාගෙන් කරුණු ඇහුවාම සමහර වෙලාවට වැඩේ කරලා දෙනවා. දැන් ඉන්න අලුත් දේශපාලන අධිකාරිය නිලධාරීන්ට ඕනේ දෙයක් කරගන්න ඇරලා අහක බලාගෙන ඉන්නවා. මේ පැත්තේ ඉන්නේ අඩු අධ්‍යාපනයක් සහිත අහිංසක දුප්පත් මිනිස්සු.., හරි පවු..!
අපේ ගෙදර නම් පොල් ඵලදාව අඩු වුනේ කුඩ්ඩො නිසා. බෑට්ටියක් තියන්න දෙන්නෑ, මහරෑටත් දෙනවා ගේම. මොන කරුමයක් උනාද මන්දා රටට.
සුදු මැස්සා...
පොල් පලදාව අඩුවීමට හේතු කීපයකි 1. සුදු මැස්සා හානිය. සුදුමැස්සා පොල්කොලය උරා බොනවා. එනිසා ගස බාල වෙනවා. 2. කලින් පැවැති ආණ්ඩු බාල තෙල් chemical දාලා සුදු කරලා විකුණුව නිසා පොල් මිල කෘතිමව බැස්සුවා. පොල් වගාකරුවන්ට අඩුමිලක් ලැබුණු නිසා පොහොර දමාගන්ඩ බැරිවුණා. 3. පොල් පොහොරවල මිල අධික නිසා ගොඩාක් දෙනෙක් පොහොර දමන්නේ නැත. 4. පොල් ඵලදාව අඩු නිසා දැන් පොල් මිල වැඩි වුණත් පොහොර දැමීම අපහසුයි 5. හැදෙන පොල් ගෙඩිය රිලව් සහ දඬු ලේනුන් බිම දානවා.