ඇමෙරිකා-ඊශ්‍රායල-ඉරාන යුද ගැටුම් පාලනය කිරීමට නොහැකි ආකාරයට ඔඩුදුවමින් පවතින බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් පැවැසීය.

නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී මේ බව පැවැසුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි. ගැටුම් නැවැත්වීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවය. මේ අතර ඉරානය අසල්වැසි ගල්ෆ් කලාපීය රටවලට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ජගත් මහලේකම්වරයා සිය කනස්සල්ල පළ කළේය. 

අසල්වැසි රටවලට ප්‍රහාර එල්ල කිරීමෙන් වළකින්නැයි මහ ලේකම්වරයා ඉරානයට නියෝගයක් ද නිකුත් කළේය. ඇමෙරිකාවෙන් සහ ඊශ්‍රායලයෙන් බැටකන ඉරානය, අසල්වැසි ගල්ෆ් කලාපීය රටවලට පහර දෙන්නේ, එම රටවල ඇමෙරිකන් හමුදා කඳවුරු පිහිටා ඇති බැවින්, ඒවා ඉලක්ක කරගෙනය.

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට ඉරාන විප්ලවීය හමුදාව පියවර ගැනීමෙන් ලෝක ආර්ථිකයට එල්ල වන බලපෑම සම්බන්ධයෙන් සහ තෙල් සහ ගෑස් මිල ඉහළ යෑම සම්බන්ධයෙන් ද ජගත් මහලේකම්වරයා සිය කනස්සල්ල පළ කළේය.

‘ගැටුම් උත්සන්න වී අවසන්. එය පාලනයකින් තොරව ඔඩුදුවනවා. ඒක දැන් නවත්වන්න ඕනෑ. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා පැවැත්වීම කළ යුතුයි. සියලු පාර්ශ්වකරුවන් ජාත්‍යන්තර නීතිවලට අනුව කටයුතු කළ යුතුයි. කෙසේ හෝ සාමය ස්ථාපිත විය යුතුයි.’ යැයි ජගත් මහ ලේකම්වරයා වැඩි දුරටත් පැවැසීය.