යොහාන් භාසුර
ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට මීට සුළු මොහොතකට පෙර සමත් විය.

කටාර්හී දෝහා නුවරදී අද (26) රාත්‍රී පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 8 කින් ප්‍රබල ඉන්දීය ඒ පිල පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

ශ්‍රී ලංකා ඒ ක්‍රීඩකයෝ ලකුණු 318ක ඉලක්කය ඕවර 41.3කදී කඩුලු 2ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.

ලසිත් කෘස්පුල්ලේ අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 107 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර 3 ක සමගින් ලකුණු 116 ක් රැස්කිරීමට සමත් විය.

ආරම්භක පිතිකරු සිනෙත් ජයවර්ධන වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 70 කදී හත⁣රේ පහර 10 ක් සහ හයේ පහර 6 ක් සමගින් ලකුණු 105ක් රැස් කරමින් ජයග්‍රහණයට ශක්තිමත් අඩිතාලමක් දැමීය.

කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය ඒ පිලේ ප්‍රබල පිතිකරු වෛභාවි සූර්යවංශි පන්දු 27කින් හතරේ පහර හතරක් සහ හයේ පහර තුනක් සමගින් ලකුණු 40ක් ලබා සිටියදී දැවීයාම ශ්‍රී ලංකා පිලට ප්‍රසාද දීමනාවක් බඳුවිය.

අභිෂේක් ශර්මා පන්දු 63 කින් හතරේ පහර 11 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 78 ක් රැස් කළේය.

ඉන්දීය ඒ පිල ඕවර 50යේදී කඩුලු 8 ට 317
(වෛභාවි සූර්යවංශි 40, අභිෂේක් ශර්මා 78, තිලක් වර්මා 53, කුමාර් කුෂග්‍රා 21, ශබාෂ් අහ්මඩ් 54, තනූෂ් කෝටියන් 28, රවිදු ප්‍රනාන්දු 60/2, ජනිත් ලියනගේ 37/2, නිපුන් ධනංජය 41/2)
ශ්‍රී ලංකා ඒ පිල ඕවර 41.3 කදී කඩුලු 2 ට 318
(සිනෙත් ජයවර්ධන 105, ලසිත් කෘස්පුල්ලේ 116, නිෂාන් මධුෂ්ක නොදැවී 58, පවන් රත්නායක නොදැවී 31)