( බිඟුන් මේනක ගමගේ )

වරකාපොල ගනේගම ප්‍රදේශයේ දී පසුගිය ජනවාරි 14 වැනිදා නිරෝෂා නිරංජනී නිමල්ශාන්ත නමැති තරුණියට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සිදුවන පොලිස් පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ පොලිසියේ වෙනත් ඒකකයක් යටතට පත්කරන්නැයි එම මරණකාරියගේ වැඩිමහල් සහෝදරිය ජාතික පොලිස් කොමිසමෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

ඝාතනය සිදුකළ බවට සැක කරන යුද හමුදාවෙන් පලා ආ සෙබළෙකු වන හර්ෂ ජයරත්න නමැත්තා හා වරකාපොල පොලිසිය අතර මිත්‍රත්වයක් ඇතැයි ද එමනිසා ඝාතනයට අදාළ පොලිස් විමර්ශන අපක්ෂපාතී අයුරින් සිදු නොවන බවට සාධාරණ සැකයක් ඇතැයි ද කියමින් මරණකාරියගේ වැඩිමහල් සහෝදරිය වන නිශානි මධුෂිකා නිමල්ශාන්ත මහත්මිය මෙම ඉල්ලීම කර ඇත. 

සිය නැගණිය ඝාතනය කර මසකට ආසන්න කාලයක් ගෙවී ඇතත් සැකකරු අත්අඩංගුවට ගැනීමට වරකාපොල පොලිසිය අසමත්ව ඇතැයි ද නිමල්ශාන්ත මහත්මිය චෝදනා කර තිබේ.

ඝාතනයේ ඇසින් දුටු සාක්ෂිකරුවන් වන සිය මව හා බාල 
 
නැගණියගේ ජීවිත ද මෙම පසුබිම යටතේ අනාරක්ෂිතව ඇති නමුත් ඒ සම්බන්ධයෙන් වරකාපොල පොලිසිය ප්‍රමාණවත් සැලකිල්ලක් යොමු කර නැතැයි ද ඇය තම ලිපියේ සඳහන් කර ඇත.

සැකකරු මාදෙනිය ප්‍රදේශයේ ප්‍රසිද්ධියේ කසිප්පු ජාවාරමේ නිරත අයකු යැයි ද එම ජාවාරම ගැන ප්‍රදේශවාසියකු පොලිසියට පැමිණිල්ලක් කළහොත් පැමිණිලිකරුවන්ගේ සියලු විස්තර සැකකරුට ලැබෙන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ද එම ලිපියේ සඳහන් වේ.

තම නැගණිය ඝාතනය වීමට පෙර ඇයගේ ජංගම දුරකතනය පැහැර ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව පසුගිය ජනවාරි 8 වැනිදා වරකාපොල පොලිසියට පැමිණිලි කළේ යැයි ද පැමිණිල්ල විභාග කිරීමට පොලිසියට පැමිණි අවස්ථාවේදී සැකකරු “පොලිසිය මගේ අල්ලේ ඉන්නේ. මම මාසෙකට රුපියල් පනස්දාහක් පොලිසිය වෙනුවෙන් වියදම් කරනවා. ඒ නිසා උඹලා පැමිණිලි දැම්මාට මට කරන්න පුළුවන් දෙයක් නෑ” යනුවෙන් තමාත් මවත් මියගිය නැගණියත් ඉදිරියේ ප්‍රකාශ කළේ යැයි ද නිමල්ශාන්ත මහත්මිය සිය ලිපියේ සඳහන් කර ඇත.

මෙම පැමිණිල්ලෙන් පසුව ජනවාර් 13 වැනිදා රාත්‍රී 7.00ට පමණ සැකකාර හර්ෂ ජයරත්න නමැත්තා තම මව සහ නැගණිය වසන නිවෙසට පැමිණි තර්ජනය කර ඇතැයි ද ඒ ගැන 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිලි කළ නමුත් පොලිසියෙන් පැමිණ  ඇත්තේ පසුදින (14) අළුයම 4.00 ට පමණ යැයි ද නිමල්ශාන්ත මහත්මිය චෝදනා කර ඇත.

සැකකාර ජයරත්න නමැත්තා තම නැගණියට හා මවට වෙඩි තබා ඇත්තේ පොලිසිය නිවෙසින් පිටත්වනවා සමගම යැයි ද එම ලිපියේ කරුණු සඳහන් වේ.

සැකකරුගේ කසිප්පු ජාවාරම සම්බන්ධයෙන් තමා ජනමාධ්‍යට කරුණු අනාවරණය කළේ යැයි ද එයින් පසුව ජනවාරි 29 වැනිදා වරකාපොල පොලිස් ස්ථානාධිපතිවරයා තමා එසේ මාධ්‍යට කරුණු කීම ගැන බැණවැදුණේ යැයි ද නිමල්ශාන්ත මහත්මිය තම ලිපියෙහි සඳහන් කර ඇත.

වරකාපොල දොරවක ප්‍රදේශයේ කසිප්පු ජාවාරම මැඩපැවැත්වීම සඳහා වරකාපොල පොලිස් ස්ථානය ක්‍රියාත්මක නොවීම මෙවැනි අපරාධ වීමට මූලික හේතුව යැයි ද මෙම කරුණු සැලකිල්ලට ගෙන තම නැගණියගේ ඝාතනයට අදාළ පොලිස් විමර්ශනය පොලිසියේ වෙනත් ඒකකයකට යටත් කරන්නැයි ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලා සිටින්නේ යැයි ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.