(කාංචන කුමාර ආරියදාස)
මව දරුවන් තිදෙනකු අතහැර යාමත් සමඟ තම මලනුවන් සහ නැගණිය රැකබලාගෙන නිවසේ සියලු වැඩ සිදුකර අධ්‍යාපන කටයුතුවල නිරතවීමට සිදුව ඇති අට ශ්‍රේණියේ ඉගෙනුම ලබන ආදර්ශමත් 13 වියැති දියණියකගේ දුක්බර පුවතක් දඹුල්ල වෑවල වැව අරුණෝදයගම ප්‍රදේශයෙන් වාර්තා වේ.
වසන්ත රත්නායක (38) මහතා දියණියන් දෙදෙනා සහ පුතකු රැකබලාගෙන දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වෙති.
ඔහුගේ බිරිඳ මීට වසර දෙකකට පමණ ඉහත දී නිවසින් පිටව ගොස් ඇත්තේ වෙනත් විවාහයක් කරගැනීම සඳහා බව වසන්ත රත්නායක මහතා පැවැසීය. එදා සිට මේ දක්වා දියණියන් දෙදෙනාත් පුතාත් අපහසුතා මධ්‍යයේ රැකබලා ගත් බව ඔහු පවසයි.
හංසිකා ප්‍රියදර්ශණී (13) දියණිය තවමත් 8 වැනි වසරේ ඉගෙනුම ලබන්නීය. මලීෂ දිල්ශාන් මෙවර පළමු වසරට ඇතුළත්කොට පාසල් යන කුඩා දරුවෙකි. ඉමාසි කාවින්දි තවමත් තුන් හැවිරිදිය. එම කුඩා දියණිය අම්මා යනුවෙන් ආමන්ත්‍රණය කරනු ලබන්නේ වසන්ත රත්නායක පියාටය.
කටුමැටි ගැසූ ඉතා කුඩා නිවෙසක මෙම පවුල ජීවත්වෙන අතර කුලී වැඩක් කරන පියාට ගෙදර ඉවුම් පිහුම් හා දරුවන් දෙදෙනාගේ වැඩට විශාල වශයෙන් උදව් කරනු ලබන්නේ අටවැනි වසරේ ඉගෙන ගන්නා තම වැඩිමහල් දියණිය හංසිකා ප්‍රියදර්ශනී බව වසන්ත රත්නායක හැඬු කඳුළෙන් පැවැසීය.
දරුවන්ගේ වැඩ කටයුතු නිසා දිනපතා කුලී වැඩට යෑමට තමන්ට නොහැකිවීම නිසා එක වේලක් දිනකට ආහාර ගෙන දරුවන් ජීවත් කරවන බව වසන්ත රත්නායක අප සමග පැවැසීය.
වැඩිමහල් දියණිය කියා සිටියේ තමන් නිවෙසේ වැඩ කටයුතු සිදුකර ආහාර පිස සිය මලනුවන් සහ නැගණියට කවා පොවා හැන්දෑවේ තම නිවෙස ආසන්නයේ වැඩිහිටි කාන්තාවක් සිටින නිවෙසකට ගොස් රැය පහන් කරන බවය. තම මල්ලි සහ නංගි පියා සමග මෙම පැලේ රාත්‍රිය ගත කරන බව ද ඇය පැවසුවාය.
හංසිකා ප්‍රියදර්ශනී අප සමඟ සිය ජීවන කතාව මෙසේ කීවාය.
"අපේ අම්මා අපිව දාල යනකොට නංගි ගොඩක් චූටියි. තාත්තා ගොඩාක් දුක් වින්දා නංගිවයි අපිව හදන්න. එයාට වැඩකට යන්නවත් විදිහක් නැතුව හිටියේ. එක දවසක් වැඩට ගියොත් සතියක් විතර ඒකෙන් හාල් ගෙනල්ලා දවසට එක වේලක් කාලා අපි ජීවත් වුණේ. තාත්තට වැඩට යන්න ඕන නිසා නංගිගේ මල්ලිගෙයි ගෙදර වැඩ කරන්න මම පුරුදු වුණා. ඒ වැඩ ඉවර කරල තමයි මම ඉස්කෝලේ යන්නේ."
"තාත්තට වැඩක් තිබ්බෙ නැති දවස්වලට මම ඉස්කෝලේ යන්නේ නෑ. කාල යන්න දෙයක් නැති නිසා නංගිලාත් එක්ක අහළ පහළ ගෙදරකට ගිහිල්ලා මොනවා හරි කනවා. නංගිටයි මල්ලිටයි අසනීපයක් වුණ දවසට ඉස්කෝලේ යන්නෙත් නෑ. ගේ ඇතුළෙ අපිට තනියම ඉන්න බැරි නිසා අපි දවල්ට අහළ පහළ ගෙදරකට ගිහිල්ලා ඉන්නවා. "
"කොහොම හරි අපිට දොර වහගෙන ඉන්න පුළුවන් එක කාමරයක්වත් තිබ්බොත් හොඳයි. තාත්තායි නංගියි මල්ලියි පැදුරක් දාගෙන මේ ගෙදර බිම නිදා ගන්නවා. මම රෑ වෙනකොට ළඟ ගෙදරකට යනව නිදාගන්න ආපහු උදේ ඇවිල්ල නංගිලා මල්ලිලා හෝදලා ඉස්කෝලෙ යවනවා."
"තාත්තා ඒ වැඩ කරන්න ගත්තොත් අපිට කන්න නැති වෙනවා ඒ නිසා තාත්තට මං කියනවා වැඩකට යන්න කියලා”
අපිට කොහොම හරි පොඩියට හරි නිවෙසක් හදල දුන්නොත් දොරවල් වහගෙන නංගිටයි මල්ලිටයි මටයි ගෙදර ඉන්න පුළුවන් මේ සැරේ වැස්සොත් ගේත් කඩන් වැටෙනවා"
දරු තිදෙනා සමග දුෂ්කර ජීවිතයක් ගත කරන වසන්ත රත්නායක මහතා මෙසේ පැවැසීය.
"අපේ නෝනා ගියාට පස්සේ මම ගොඩක් අමාරුවෙන් තමයි දරුවො තුන්දෙනා හදන්නේ. හැමතිස්සෙම වගේ චූටි දුවට අසනීප වෙනවා. සති ගණන් ඉස්පිරිතාලවල ඉන්නවා. එතකොට ලොකු දුවයි පුතයි කොහෙහරි තැනක නවත්තලා තමයි යන්නේ. ඒ දවස්වලට වැඩක් පළක් කරන්න විදිහක් නෑ. එයාව ඉස්පිරිතාලේ තියන් ඉන්න වෙනවා. හරියට දරුවන්ට කන්න බොන්න අඳින්න දෙන්න විදිහක් නෑ. වැඩක් පලක් කරගන්නවත් හරියට නෑ."
" ගහක් යට හරි ඉන්න පුළුවන් ඒත් දරුවෝ බඩගින්නේ අඬනකොට ඉවසන්න බෑ. මේ ගෑනු ළමයි දෙන්නෙක් ඉන්න නිසා පොඩිවට හරි කාමරයක් හදාගන්න තමයි මගේ බලාපොරොත්තුව. හිඟා කාල හරි මම මේ තුන් දෙනා ලොකු කරගන්නවා. එකම බලාපොරොත්තුව දරුවෝ තුන් දෙනාට උගන්න ගන්න එක. වෙන ලොකු බලපොරොත්තු නෑ."
මගේ බාල දුව මට අම්මා කියලා කතා කරනකොට ලොකු දුකක් වගේම තරහකුත් එනවා. මොකද එයාගේ අම්මා කළ පහත් වැඩේ නිසා මේ දරුවෝ කොපමණ අසරණ වෙලාද කියලා. එයා ගමේම හිටිය පිරිමි ළමයෙක් එක්ක ගියා. අඩුම තරමේ මම එයාට පාරක් ගහලවත් නැහැ. සල්ලි නැති එක තමා තිබුණේ. ඒත් මම අද හිටියටත් වඩා පහළ වැටිලා දරුවන් තුන් දෙනා එක්ක දුක් විඳිනවා. අපට දුක උරුමකරලා දීපු කෙනා සැප විදිනවා. මොනවා කරන්නද පෙර කරපු කරුම වෙන්න ඇති ."
ඔවුන්ගේ ලිපිනය වසන්ත රත්නායක අංක 148 අරුණෝදය ගම හුඹසගමුව වෑවලවැව, දඹුල්ල. දුරකථන අංකය 072 344 5264 ඔස්සේ සම්බන්ධ කර ගත හැකිය


COMMENTS
බෙන්ස්, බී.එම්.ඩබ්ලිව්. වාහනවල පාවෙන රටේ මැති ඇමතිවරුන්ට මේ මිනිසුන්ගේ දුක පෙනීයන්...
ආණ්ඩුවේ මුදල් වලින් සජිත් ප්‍රේමදාස හදන ගෙවල් දෙන්නේ මේ මිනිස්සුන්ට වඩා දුප්පත් මිනුසුන්ට නම් ලංකාවේ දුප්පත් කමේ තරම කොහොමද ? මෙහෙම මිනිසුන් සිටින අපේ රටේ දේශපලකයන්ට තියෙන සැප කොහොමද පුටුව ලක්ෂ හයයි
රථගාය උපරිමයෙන් මෙන්ම ඉහවහ ගිහින් තිබෙන "ඇමතිහොරු " , " මන්ත්‍රීහොරු " මෙන්ම වසුරු පිටකරන තැන තියාගන්න ලක්ෂ 6 කට වැඩි මුදලක් එක් පුටුවකට වියදම් කරන්න පුළුවන් "නිවටුන්" සිටින රටක මේ අහිංසක මිනිසුන් ගැන කුමන කතාද?
රෝසිගේ වැසිකිළි අලුත් වැඩියාවට ලක්ෂ 58 ක් ලු, බස්නාහිර පළාත් සභාවට එක පුටුවක් ලක්ස 6 ගානේ ගේනවලු, උදාහරණ එමටයි. කාලකන්නි ඇමතිවරුනේ මේ අහිංසක දරුවෝ ගැන බලාපියව්...
කවුරුවත් කියලා නැහැ මේ පවුලට උපකාර කරන්න ඉදිරිපත් වීමක් ගැන. හැමෝම දේශපාලකයා පතුරු ගහන්න ඉන්නවා බලාගෙන එත් තමන්ගෙන් රටට සමාජයට කලහැකි දෙයක් ගැන ඉදිරිපත්වී කතා කරනවනම් වටිනවා නේද?
කාටවත් බැනල වැඩක් නැහැ, දරුවන්ගේ පියා දෙවි කෙනෙක්, පුළුවන් නම් මාධ්‍යයෙන් විනාඩියක් වැය කරලා නිවස ඇමති සජිත් ප්‍රේමදාස නිවස ඇමතිට කියන්න ගෙයක් හදලා දේවි.
දිරිය පියෙක්. නිවන් දකීවි. මේ දුක් කාලය ගෙවිලා ගිවින් හැමෝටම හොඳ අනාගතයක් ලැබේවි.
පාලක විපක්ෂ දේශපාලන ප්‍රධානිවරුනි රටේ නියම තත්වය මෙලෙසය. තමා ඔතනට ඔසවා තැබූ අහිංසකයන් ගැන බලන්න දැන්වත්
සබරගමුව පළාත් සභාවේ පරිවාස දෙපාර්තමේන්තුව නම් මෙවැනි අයට ආධාර මුදල් ලබාදෙනවා.
මේ දැරිවියගේ නමින් බැංකු ගිණුමක් විවෘත්ත කර පල කරන්න මෙහි සිටින අපි උදව් කරනවාමයි.
දුරකථනය වැඩ නැහැ... කොහොමද උදව් කරන්නේ? මම පුළුවන් විදියට ගෙයක් හදාගන්න උදව් කරන්නම්.., මුලින්ම ජීවත් වෙන්න උදව් කරමු. පුළුවන් නම් මට සම්බන්ධ කරගන්න විදියක් හදලා දෙන්න. මම ඉන්නේ ලංකාවේ නෙමේ...
මහා කෝටිපති ධම්මික පෙරේරා මේ ඊයේ, පෙරේදා කියා තිබුණා රටේ ප්‍රශ්න නෑ. මිනිස්සු බොරු මානසික බියකින් ඉන්නේ ප්‍රශ්න තියනවා කියලා. එ්ත් ඒක බොරු බියක්ලු. කවුරුහරි ඔය මිනිස්සු කොළඹින් එහාට එක්ක ගිහින් මේ උදවිය පෙන්නනවද?
එකම එක කෙනයි උදව් කරන්නම් කියලා තියෙන්නේ අනිත් අය දේශපාලකයන්ගෙ රෙදි ගලවන එකයි කරන්නේ
කොහොමද උදව් කරන්නේ?
ගලවන්න රෙදි ඇඳගෙන ඉන්න එපාය ජනතාවගේ ඡන්ද අරගෙන සමාජ දුෂකයන් වෙලා ජනතාවගේ සල්ලි සුරා කනවා එම නිසාම ජනතාව දුක් විඳිනවා
කරුණාකර නිවුස් රිපොර්ටෙර්ගේ දුරකථන අංකය හෝ ඊමේල් එක මට දන්වන්න.
අපේ රටේ ඉන්න වැඩි දෙනා සිංහල බෞද්ධ නේද? ඒගොල්ල කරන්නේ පන්සල් ලොකු කරන එක විතරයි. බෞද්ධ දර්ශනයට අනුව යමින් නැති බැරි මේ වගේ කෙනෙකුට ගොඩ එන්න යමක් කලොත් නරකද...?
අපිත් උදව් කරන්නම්. ඔබ තුමාලට ලෙහෙසියෙන්ම කරන්න පුළුවන් දේවල් තමයි මේවා. ලබන ආදායමෙන් මසකට එකක් කරන්න. දේශපාලුවො ගැන බලන් ඉන්න එපා.
උදව් කරන්න නම් කැමති, මම හිතන්නේ මේ වගේ අවස්ථාවකදී ගමේ පන්සලේ හාමුදුරුවෝ එකතු වෙලා උදව් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි..... අපිටත් පුළුවන් එහෙනම් සල්ලි එවන්න අනිවාර්යෙන්ම. එහෙම නැත්නම් ගමේ තරුණ කොටස් එකතු වෙලා උදව් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.....
උදව් කරන්න නම් කැමති, මම හිතන්නේ මේ වගේ අවස්ථාවකදී ගමේ පන්සලේ හාමුදුරුවෝ එකතු වෙලා උදව් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අපිටත් පුළුවන් එහෙනම් සල්ලි එවන්න අනිවාර්යෙන්ම. එහෙම නැත්නම් ගමේ තරුණ කොටස් එකතු වෙලා උදව් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි