ප්‍රංශයේ පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු වටයෙන් මධ්‍යස්ථ මතධාරී ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ගේ පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී තිබේ. 
ජනාධිපති මැක්රෝන්ගේ ලා රිපබ්ලිකේ එන් මාකේ (රිපබ්ලික් ඔන් ද මූව්) පක්ෂය සහ ඔවුන්ගේ මිත්‍ර ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය (මෝඩෙම්) පක්ෂය ප්‍රංශ පාර්ලිමේන්තුවේ ආසන 577න් 445ක් දිනාගනු ඇතැයි වාර්තා වේ.
ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයේ දෙවැනි වටය සෙනසුරාදා 17 පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව අවසන් ප්‍රතිඵල නිකුත් කෙරේ. 
ජනාධිපති මැක්රෝන්ගේ පක්ෂය මීිට වසරකට පෙර පිහිටුවා ගත් පක්ෂයක් වන අතර එහි අපේක්ෂකයන් බොහෝ දෙනකුට ඇත්තේ ඉතා අඩු දේශපාලන අත්දැකීමකි. ඇතැමකුට දේශපාලන අත්දැකීමක් නැති තරම්ය. 
මැතිවරණයේ පළමු වටයේ ඡන්ද විමසීමේ ඡන්ද ගණන් කිරීමට දැනට ආරම්භ වී තිබෙන අතර, දැනට ගණනය කර තිබෙන ඡන්ද අනුව මැක්රෝන්ගේ ලා රිපබ්ලිකේ එන් මාකේ පක්ෂය සහ මෝඩෙම් පක්ෂය සියයට 32.3ක ඡන්ද ප්‍රතිශතයක් ජයග්‍රහණය කර ඇතැයි වාර්තා වේ. 
මධ්‍ය දක්ෂිණාංශික රිපබ්ලිකන්ස් පක්ෂය දිනාගෙන ඇති ඡන්ද ප්‍රමාණය සියයට 16ටත් වඩා අඩු වන ප්‍රංශයේ මීට කලින් පැවැති ආණ්ඩුව හෙබ වූ සමාජවාදී පක්ෂය දිනාගෙන ඇත්තේ සියයට 7.4ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. 
අන්ත දක්ෂිණාංශික ජාතික පෙරමුණ සියයට 13.2ක ඡන්ද ප්‍රතිශතයක් දිනාගන්නා විට අන්ත වාමාංශික ලෙෆ්ට් ඉන් ෆ්‍රාන්ස් පක්ෂය ජයග්‍රහණය කර ඇත්තේ සියයට 11ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. 
කෙසේ නමුත් ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 2012 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැති ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය වූ සියයට 57.2 සිට සියයට 48.7ක් දක්වා පහත වැටී තිබේ. 

බී.බී.සි ඇසුරිනි - 055