(ඩී.ජී.සුගතපාල)
ගාල්ල වරාය ආසන්න මුහුදේ ඇවන්ට්ගාඩ් නෞකාවේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධ නඩුව අද(19) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවේ විභාගයට ගත් අවස්ථාවේ නඩුවේ 4 සැකකාර වික්ටර් සමරවිර , 5 සැකකාර පාලිත වඩුගේ පියසිරි ප්‍රනාන්දු, සහ 6 සැකකාර කරුණාරත්න බණ්ඩා අධිකාරි එගොඩවෙල යන තිදෙනා අගෝස්තු 2 දක්වා බන්ධනාගාර ගත කිරිමට නියෝග කළේය.

වික්ටර් සමරවිර නමැති සැකකරු ඉකුත් 8 වන දින අධිකරණයට බාරවිමෙන් පසු අද දක්වා රිමාන්ඩ් කරන ලද අතර ඔහු මේ වනවිට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව ඔහු වෙනුවෙන් පෙනි සිටින නිතිඥවරිය අධිකරණයට දැනුම්දුන්නාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගන්නා ලද පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක නමැති සැකකරු මේ වනවිට  දැනට ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේය.‍

සමන් දිසානායක වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ඔහු බන්ධනාගාර ගත කරන්නේ නම් ජයවර්ධන පුර රෝහලේම නතරව ප්‍රතිකාර ලබා ගැනීමට ඉඩ දෙන ලෙසය.එහිදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව රෝහලට ගොස් විමර්ශනය කරන ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

ගාල්ල වරාය ආසන්නයේ ඇවන්ට් ගාඩ්  නෞකාවේ පවත්වාගෙන ගිය  පාවෙන අවි ගබඩාව 2015 ඔක්තෝබර් 15 වනදින අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.