අතුරුදහන්වූවන් පිළිබඳ කරුණු ඉදිරිපත් කරමින්, යම් ස්ථානයක ඔවුන් රඳවා සිටින්නේයැයි පවසනවානම් එම ස්ථාන පරික්ෂා කිරීම සඳහා රජය වැඩපිළිවෙළක් සකස් කරන බව ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. එසේම මීට පෙර පත්කළ කොමිෂන් සභා වාර්තා සහ නිර්දේශ සැලකිල්ලට ගනිමින් අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීමට විශේෂ කමිටුවක් ළඟදීම පත්කරන බව ද ජනාධිපතිතුමා පැවසීය. ජනාධිපතිවරයා අද (20) මේ බව ප්‍රකාශ කළේ සාම්පූර් ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.


2015 වසරේ තමා යාපනයේ හින්දු විද්‍යාලයේ සිසු දරුවන් පිරිසක් සමඟ පෙනී සිටි ඡායාරූපයක් අන්තර්ජාලයට මුදාහරිමින් තමා සමඟ සිටි එම දරුවන් අතුරුදහන් වී ඇති බවට ගෙන ගිය ප්‍රචාරය අන්තවාදින්ගේ දේශපාලන කුමන්ත්‍රණයක් බවත්, එවැනි අතුරුදහන්වීමක් සිදුවී ඇත්නම් එම දරුවන් සොයා ගැනීම සඳහා තමාගේ ද උපරිම සහය ලබාදෙන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම පසුගිය 18 වනදා තමා කිළිනොච්චියට පැමිණිමට සිටින බවත්, උතුරේ විරෝධතා පවත්වමින් තමන්ට ඒමට ඉඩ නොදෙන බවත් පවසමින් ගෙන ගිය ප්‍රචාරය ද සිහිපත් කළ සිරිසේන මහතා ප්‍රකාශ කළේ එදින තමන් එවන් සංචාරයක යෙදීමට නියමිතව නොසිටි බවයි.


සාම්පූර් නැගෙනහිර, සාම්පුර් බටහිර, නවරත්නපුර, කොනිතිවූ, කඩකරාචාචෙන්නායි යන ග්‍රාමසේවා වසම් 05 ක වෙසෙන 4253 ක පමණ ජනතාවට සෙත සලසමින් අලුතින් ඉදිකරන ලද සාම්පූර් දිස්ත්‍රික් රෝහල අද (20) පෙරවරුවේ ජනාධිපතිවරයා අතින් ජනතා අයිතියට පැවරිණි. රුපියල් මිලියන 56 ක වියදමින් අංග සම්පුර්ණ පහසුකම් සහිතව මෙම රෝහල ඉදිකර තිබේ.


ලංකාපටුන විහාරස්ථානය සඳහා ගමන් කිරීමට ලංකාපටුන කලපුව හරහා ඉදිකෙරුණු නව පාලම ද අද පෙරවරුවේ ජනාධිපති සිරිසේන මහතා අතින් විවෘත කෙරිණි. මීටර් 150 ක් දිගින් යුත් නව පාලම මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ඉදිකර තිබේ.