IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


මහ රෑ හමුවූ ගැහැනිය

කෙටිකතාව

කෝපන්හේගන්හි ඇතුළු වරාය අසල පහළින් වෙස්ටර්වෝල්ඩ් නමින් වීදියක් ඇත. පැරණි කොටු බැම්මක් මත අලුත වැටුණු මේ වීදිය ඉතාම පාළුය. ඒ වීදියෙහි ඇත්තේ ගෙවල් දෙක තුනක් සහ ගෑස් ලාම්පු කීපයක් පමණි. මිනිසුන් නම් ඇත්තේම නැත. දනුදු ග්‍රීස්ම කාලයේ එම වීදියෙහි මිනිසුන් සක්මන් කරනු දක්නට ලැබෙන්නේ කලාතුරකිනි.

ඊයේ සවස මම මේ වීදියෙහිදී පුදුම දෙයක් දුටුවෙමි.

එවේලේ මම වීදියේ පැති මං තීරුව දිගේ කීප වරක් ඉහළට හා පහළට ඇවිද ගොස් සිටියෙන් මගේ විරුද්ධ දිසාවේ සිට කවුරුදෝ කාන්තාවක මා දෙසට ඇවිද එනු මට පෙනුණි. එවේලේ වෙන මිනිසුන් කවුරුවත් එහි පෙනෙන්නට සිටියේ නැත. ගෑස් ලාම්පු දල්වා තිබුණි. එහෙත් අවට කළුවරය. කොතරම් කළුවරද කිවහොත් ඒ කාන්තාවගේ මුහුණ හඳුනා ගැනීමට මම අසමත් වීමි. සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේ පාර තොටේ ගැවසෙන වර්ගයේ සත්ව කෙනෙකැයි සිතූ මම ඇය පසුකර ගෙන ගියෙමි.

කොටු බැම්ම වීදියේ කෙළවරට පැමිණි මම හැරී ආපසු ඇවිද ආවෙමි. ඒ අයුරින්ම හැරී ආපසු ඇවිද ආ ඇය මට නැවත වරක් මුණගැසුණි. ඇය කිසිවෙකු එන තුරු මග බලා සිටිතියි සිතූ මම ඇය බලාපොරොත්තු වන්නේ කවුරුන්දැයි දැකීමට කුහුලින් යුතු වීමි. මම යළිත් ඇය පසු කරගෙන ගියෙමි.

තුන් වන වරටත් ඇය මුණගැසුණු වේලේ මම මගේ හිස් වැස්ම මඳක් ඔසවා ඇයට කතා කළෙමි.

"ඔයා කවුරු හරි එනකංද බලා ඉන්නෙ?"

ඈ තිගැස්සුණි. ඔව් , කිසිවෙකු එන තුරු තමා ඇය බලා සිටියෙ.

ඇය බලාපොරොත්තු වන පුද්ගලයා එන තුරු මා ඇය සමඟ සිටීම ගැන ඇය විරුද්ධ වූවාද? නැත. බිඳකුදූ විරුද්ධ නොවූ ඈ මට ස්තුති කළාය. කිසිවෙකු බලාපොරොත්තුව නොසිටින බව ඈ මට හෙළි කර සිටියාය. ඇය හුදෙක් පවන් සුව විඳිමින් සිටියා පමණි. එහි කිසිම හැල හොල්මනක් නැත.

අපි දෙදෙනා එකිනෙකාට ළංව ඒ මේ අත සක්මන් කෙළෙමු. එතරම් වැදගැම්මකට නැති නොයෙක් දේ ගැන අපි කතා කරන්නට පටන් ගතිමු. මම මගේ අත ඇය වෙත දිගු කෙළෙමි.

"ස්තූතියි. එපා."

එසේ කියූ ඈ හිස සැලුවාය.

මේ අයුරින් කොතෙකුත් සක්මන් කිරීමෙන් සිතට එතරම් සතුටක් නොමැති බව මට හැඟුණි. කළුවරේ මට ඇය හරි හැටි පෙනුණේද නැත. වේලාව බලාගනු පිණිස මම ගිනිකූරක් දැල්වීමි. ගිනිකූරු දැල්ල උඩට කර ඇල්ලූ මම ඇය දෙසද බැලීම්.

"නවයහමාරයි."

මම පැවසුවෙමි. ඇය තද සීතලෙන් වෙවුලූ අතර මම අවස්ථාවෙන් ප්‍රයෝජන ගතිමි.

"ඔයා සීතලෙන් වෙවුලනවා නේද?"

මම ඇසුවෙමි.

"අපි කොහාට හරි ගිහිල්ලා මොනවා හරි බොමුද? ටිවොලි එකට? නැත්නම් නැෂනල් එකට?"

"ඔයාට පේන්නෙ නැද්ද මට මෙහෙම කොහාටවත් යන්න බැරි බව?

ඇය ඉතා දිගු කළු පාට වේලයක් ලා සිටින බව පළමු වරට දුටුවේ එවිටය. ඇගෙන් සමාව අයැද සිටි මම මගේ වැරදීම ගැන අඳුරට දොස් නැගීමි. ඇය එක් වරම මගේ සමාව පිළිගත් ආකාරය අනුව ඇය සාමාන්‍යයෙන් රෑ පානේ නිදැල්ලේ සැරිසරන උන්ගෙන් එකියක නොවන බව මට වැටහුණි. "ඇයි මගෙ අතින් අල්ල ගන්නෙ නැත්තෙ?"

මම යළි ඇසුවෙමි.

"එතකොට ඔයාට ටිකක් උණුසුම දැනෙයි."

ඈ මගේ අත අල්ලා ගත්තාය.

අපි කීප වරක් හැරි හැරී ඉහළට පහළට ඇවිදීමු. යළි වෙලාව බලන්නැයි ඈ මට කීවාය.

"දහයයි."

මම කීමි.

"ඔයා කොහෙද ඉන්නෙ?"

"ගැම්ලේ කොන්ගෙව්වල."

මම ඇය නැවැත්වීමි.

"මම ඔයාව ගෙදර ඇරලවන්නද?"

මම ඇසුවෙමි.

"ඒක ඒ තරං හොඳ නෑ."

ඈ උත්තර දුන්නාය.

"මට ඔයාට ඒකට ඉඩ දෙන්න බෑ. ඔයා ඉන්නෙ බ්‍රෙඩ්ගේඩිවල නේද? "ඔයා කොහොමද දන්නෙ?"

මම පුදුම වී ඇසුවෙමි.

"මං දන්නවා ඔයා කවුද කියලා."

ඈ උත්තර දුන්නාය.

මඳ විරාමයකි. ආලෝක වුණු වීදි දිගේ අපි අතිනත් ගෙන ගමන් කෙළෙමු. ඉක්මන් ගමනින් ගිය ඇගේ දිගු වේලය ඇය පිටුපසින් ඇදී ගියේය.

"අපි ඉක්මන් කරලා යමු.

ඈ කීවාය.

ගැම්ලේ කොන්ගෙව්වල ඇගේ දොරකඩ නැවතුණු ඈ මා දෙස හැරී බැලුවේ ඇය ඇරලවීම ගැන මට ස්තුති කරන්නට මෙනි. ඇයට ඇතුළු වනු පිණිස මම දොර ඇර දුනිමි. ඈ හෙමින් ඇතුළු වූවාය. මගේ උරහිසෙන් හෙමින් දොර තල්ලු කරමින් මමද ඇය පසු පසින්ම ඇතුළු වීමි. ඇතුළු වුණු වහාම ඈ මගේ අත මිරිකා ගත්තාය.

අප දෙදෙනාගෙන් කිසිවෙකු කතා කළේ නැත.

අපි පඩි පේලි දෙකක් නැග තුන් වන තට්ටුවේ නැවතුණෙමු ඇය වෙසෙන ගෙට ඇතුළු වන දොර ඇගේ අතින්ම ඇරගත් ඈ ඉන් පසු දෙවන දොරත් ඇර මගේ අතින් අල්ලා මා ඇතුළට යැව්වාය. එය පෙනුමෙන් විසිත්ත කාමරයකි. බිත්තියේ ගසා තිබුණු ඔරලෝසුවක ටික් ටික් හඬ මට ඇසුණි. දොරෙන් ඇතුළු වුණු පසු මොහොතක් නැවතී බලා සිටි කාන්තාව එක් වරම ඇගේ දෑත් මා වටා යවා වෙවුලමින් හා සරාගි ලෙසින් මගේ මුව සිප ගත්තාය. මුවම සිප ගත්තාය.

"ඔයා වාඩිවෙන්නෙ නැද්ද?"

ඇය ඇසුවාය.

" මේ තියෙන්නෙ සෝපාවක්. ඉන්න මං ලාම්පුවක් පත්තු කරන්නං."

ඈ පහනක් දැල්ලුවාය.

මම පුදුමයෙන් එහෙත් කුහුලින් අවට බැලුවෙමි. එය බෙහෙවින් ඉඩකඩ ඇති ඉතාම හොඳට ගෘහ භාණ්ඩවලින් සරසා තිබුණු විසිත්ත කාමරයකි. පසෙක වූ කාමර කීපයක් තුළට පිවිසෙන අඩක් ඇරී සිටි තවත් දොරවල් කීපයක්ද එහි පෙනෙන්නට තිබුණි

මට හමුවුණු මැය කවර තැනැත්තියකද යන්න මට මගේ මුළු ජීවිත කාලයටම තේරුම් ගත නොහැක්කක් සේ පෙනුණි.

"කොච්චර ලස්සන කාමරයක්ද?"

මම හඬ නගා ඇසුවෙමි.

"ඔයා ඉන්නෙ මෙහෙද?"

"ඔව් . මේ තමයි මගේ ගෙදර."

ඈ උත්තර දුන්නාය.

"මෙික ඔයාගෙ ගෙදර? එහෙනම් ඔයා දෙමව්පියොත් එක්ක ඉන්නෙ?" "අපොයි නෑ ."

ඈ සිනාසුණාය.

"මම නාකි ගෑනියෙක් කියලා ඔයාට පෙනේවි."

ඉන්පසු ඈ තම වේලය. හා පටිද ගැලෙව්වාය.

" ඔන්න බලන්න. මොකද මං කිව්වෙ?

එසේ පැවසූ ඈ යළිත් එක්වරම තම දෑත් මා වටා යැව්වේ මැඩගත නොහැකි ආවේගයක් විසින් මෙහෙයවුණු කලක මෙනි.

වයස අවුරුදු විසි දෙකක් නැත්නම් විසි තුනක් විය හැකි ඈ තම දකුණු අතේ මුදුවක් පැලඳ සිටියාය. ඒ නිසා ඇය ඇත්තෙන්ම විවාහක කතක විය යුතුය. ඈ ලස්සන එකියක්ද? නැත. ඇගේ මුහුණ ලප සහිතය. ඇහි බැම ඇත්තේම නැත. එහෙත් උතුරා යන ජීවයක් ඇය සතු විය. ඇගේ මුව අපූරු සුන්දරත්වයකින් යුතු විය.

ඈ කවුරුද? ඇයට සැමියෙකු ඇත්නම් ඔහු කොහිද? මා සිටි ඒ ගෙය කාගෙද? යන ප්‍රශ්න ඇගෙන් ඇසීමට මට අවශ්‍ය වුවද මා මුව විවර කළ හැම වරම මා වැලඳ ගත් ඈ මගේ කුහුලට අවසර නොදුන්නාය.

"මගේ නම එලන්."

ඈ කීවාය.

"ඔයා මොනව හරි බොන්න කැමතිද? මං මේ බෙල් එක ගැහැව්වට ඇත්තෙන්ම කාටවත් ඒකෙන් බාධාවක් වෙන්නෙ නෑ. මං මොනව හරි බොන්න ගෙන්නනකං ඔයා මේ නිදන කාමරයට යන්න."

මම නිදන කාමරයට පිවිසුණෙමි. විසිත්ත කාමරයෙන් නික්මුණු පහන් එළියෙන් නිදන කාමරය අඩක් එළිය විය. එහි ඇඳන් දෙකක් තිබුණි. සීනුව නාද කළ එලන් වයින් රැගෙන එන ලෙස අණ කළාය. වැඩකාරියක වයින් ගෙනැවිත් තබා පිට වී යනු මට ඇසුණි. මඳ වේලාවකට පසු එලන්ද නිදන කාමරයට පැමිණියාය. එහෙත් ඇය දොර ළඟ මඳක් නැවතී සිටියාය. මම ඇය දෙසට පියවරක් නැගුවෙමි. සිහින් හඬක් නැගූ ඈ ඒ සමගම මා දෙසට ආවාය.

ඒ සියල්ල සිදුවූයේ ඊයේ සවසය.

ඉන් පසු කුමක් සිදුවීද? ඉවසනු මැනවි! තව බොහෝ දේ සිදුවිය.

මා අද උදයේ් අවදි වන විට එළිය වැටීගෙන එමින් තිබුණි. දොර රෙද්ද දෙපැත්තෙන් කාමරය තුළට හිරු එළිය ගලාගෙන ආවේය. එලන්ද අවදිව සිටි අතර ඈ මා දෙස බලා මඳ හස පෑවාය. ඇගේ දෑත සුදුය. විල්ලුද වාගේය. ඇගේ පියයුරු අසාමාන්‍ය ලෙස උස්ය. මම ඇයට යමක් රහසින් කීවෙමි. මුදු මොළොක් බවින් ගොළුව ගිය ඈ තම මුවින් මගේ මුව වැසුවාය. හිරු එළිය ටිකෙන් ටික මෝරා ගියේය.

පැය දෙකකට පසු මම නැගී සිටියෙමි. එලන්ද නැගිට සිටි අතර ඈ කලබලයෙන් ඇඳුම් අඳින්නට වූවාය. ඇය පාවහන් පැලඳ සිටිනු පෙනුණි. ඉන් පසු මා අත්විඳි දේ මේ දැන් පවා මට දැනෙන්නේ බියකරු හීනයක් මෙනි. මම මුහුණ සෝදන තැන සිටියෙමි. යම්කිසි කාරියක් සඳහා එලන්ට යාබද කාමරයට යාමට සිදුවිය. ඇය එක් වරම එහි දොර ඇරිය කල මම හැරී ඒ කාමරය තුළට එබී බැලුවෙමි. එහි හැර තිබූ ජනේලයෙන් ඇතුළට ආ සීතල සුළං රැල්ලක් මගේ මුහුණේ වැදී ගියේය. කාමරයෙහි හරි මැද මේසයක් මත හොවන ලද මළ මිනියක් මම යන්තමින් හඳුනා ගතිමි. මිනී පෙට්ටියක බහා තිබුණු එය සුදු අන්දවන ලද , සුදු යටි රැවුලක් ඇති පිරිමි මළ මිනියකි. පොරෝනය යටින් උඩට නෙරා ගිය ඔහුගේ ඇට ගැහුණු දණ පොල් කටු දෙක වියරු ලෙස මිට මොළවා ගත් අත් දෙකක් වැන්න. ඔහුගේ මුහුණේ රැඳී තිබුණේ මහා බියකරු සුදුමැලි පෙනුමකි. පුළුල් ලෙස පැතිරුණු හිරු එළියෙන් හැම දෙයක්ම හොඳින් බලා ගැනීමට මට හැකි විය. ඉවතට හැරුණු මම වචනයකුදු කතා නොකෙළෙමි.

එලන් යළි පැමිණෙන විට මම ඇඳ පැලඳ පිටත්ව යාමට සූදානම් වී සිටියෙමි. ඇගේ වැලඳ ගැනීම්වලට ප්‍රතික්‍රියා දැක්වීමට තරම් හිත එකලස් කර ගැනීමට මම අසමත් වීමි. ඈ අමතර ඇඳුම් වගයක්ද ඇඳ ගත්තාය. මා කැටුව වීදි දොරටුව තෙක් පහළට බැසීමට ඇයට අවශ්‍ය විය. කිසිවක් නොකියාම මම ඇයට එන්නට ඉඩ දුනිමි. වීදි දොර අසලදී ඈ කිසිවෙකුට නොපෙනෙන සේ බිත්තියට හේත්තු වුණාය.

"සුබ ගමන්!"

ඈ රහසින් කීවාය.

"හෙට වෙනකං නේද?"

ඇය පිරික්සා බලන අදහසක් ඇතුව මම ඇසුවෙමි.

"නෑ . හෙට නෙමෙයි."

"ඇයි හෙට බැරි?"

"අනේ ඔය තරං ප්‍රශ්න ඕනයැ! මට හෙට මරණ ගෙදරක යන්න තියෙනව. මගෙ නෑ කෙනෙක් මැරිල. දැන් තේරෙනවනෙ."

"එහෙනං අනිද්දා?"

"හා අනිද්දා . මේ දොර ගාවදි මං ඔයාව මුණගැහෙන්නං. සුබ ගමන්!"

මම පිටත්ව ගියෙමි.

ඈ කවුරුද? මළ මිනිය? ඒ මිට මොළවාගත් අත්මිටි දෙක! එල්ලා හැලුණු කට දෙකෙළවර! කොතරම් බියකරු විසුළු පෙනුමක්ද! අනිද්දා ඇය මා එනතුරු බලා සිටිනු ඇත. මා නැවත වරක් ඇය මුණ ගැසිය යුතුද?

කෙළින්ම බර්නිනා කැෆේ එකට ගිය මම ටෙලිෆෝන් නාමාවලියක් ඉල්ලා ගතිමි. ගැම්ලේ

කොන්ගෙව්වල අංකය සොයා බැලුවෙමි. නම එහි විය. උදේ පුවත්පත් පිටවන තුරු මම මඳ වේලාවක් බලා සිටියෙමි. ඉන් පසු මම හනි හනික අවමඟුල් දැන්වීම් පිට පෙරළා බැලුවෙමි. සත්තකින්ම අවමඟුල් දැන්වීම් ලැයිස්තුවේ පළමුවෙන්ම කළු අකුරින් පළවී තිබුණේ ඇගේ නෑයාගේ අවමඟුල් දැන්වීමයි.

"මගේ පනස් තුන් හැවිරිදි සැමියා දිගු කලක් රෝගාතුරව සිට අද මිය ගියේය."

අවමඟුල් දැන්වීමේ සඳහන් වී තිබුණේ ඊයේ දිනයයි.

මම වාඩිවී බොහෝ වේලාවක් කල්පනාවේ ගිලී සිටියෙමි.

මිනිහෙක් කසාදයක් බැඳගනියි. ඔහුගේ බිරිඳ ඔහුට වඩා අවුරුදු තිහක් බාලය. දිගු කලක් දුක් විඳීමට සිදුවන රෝගයක් ඔහුට වැලඳෙයි. එක්තරා දිනක ඔහු මිය යයි. තරුණ වැන්දඹුව සැනසුම් සුසුමක් හෙළයි.



අදහස් (0)

මහ රෑ හමුවූ ගැහැනිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 217 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site