පියසේන සෝමාට ආලය කරන්ට වූ පසු ඔහු යළිත් සිතුවම් ඇඳීම පුරුදු කරන්ට විය. ඊට කලකට පෙර ඔහුට චිත්‍ර කලාව ඉගැන්වූ චිත්‍රඥයා ඔහු ශූර සිත්තරකු වනු ඇතැ යි කීවේය. ඔහු ඇඳි සිතුවම් දුටුවෝ ඔහු සිත්තරකු තුළ තිබිය යුතු වාසනා ගුණය ඇත්තෙකැ යි කීහ. එහෙත් කලාව පිළිබඳ සැලකිය යුතු තරම් ඉගැන්මක් ලැබූ පසු ඔහු සිතුවම් ඇඳීම නතර කළේය. පියසේන දුර්වල වූ ස්නායු ඇත්තකු හෙයින් ඔහුට වැඩි කලක් කිසිවක් කෙරෙහි උත්සාහයක් දැක්විය නොහැකි යැයි ද සිතුවම් ඇඳීම ඔහු අත් හළේ එහෙයිනැයි ද ඔහු මැනවින් අඳුනන ඇතැමෙක් කීහ.

සෝමා වඩා උස් නො වූ සිරුරක් ඇති විසි විය පමණෙහි සිටි තරුණියකි. සිත් ඇදගන්නා රූපයෙන් යුක්ත වුවත් ඈ සාමාන්‍යයෙන් රූමත් ලෙස සලකනු ලබන ගැහැනුන්ගෙන් එකියක් නොවීය. රත් පැහැයට හුරු වූ සුදුමැලි පැහැයකින් යුත් ඇගේ මුහුණ කුඩා දරුවෙකුගේ මුහුණ මෙන් වටකුරු ය. ශෝක වීමට හේතුවක් නැති විට ද ඇගේ මුහුණෙහි ශෝකී භාවයක් රැඳී තිබිණ.
ගැහැනියකගේ නියම සෞන්දර්යය දකින්නේ ඇය කෙරෙහි පෙම් බැන්දකු විසින් පමණ යයි පියසේන බොහෝ විට කීවේ ය. සෙස්සන්ට පෙනෙන්නේ ඇගේ රූපය පමණකැයි ද ඇගේ ආත්මය හෙවත් සිත ද පෙම්වතාට ඇගේ මුහුණෙහි පෙනෙති යි ද ඔහු කීවේ ය. සෝමාගේ මුහුණ දකින විට තමාට පෙනෙන්නේ එහි සිත් ගන්නාසුලු අවයවවලට වඩා ප්‍රේමයෙන් පිරි ගිය ඇගේ නිර්මල සිත බවත් තමා යළිත් චිත්‍ර කලාව පුරුදු කරන්නේ ඇය කෙරෙහි තමා දක්නා අධ්‍යාත්මික සෞන්දර්යය චිත්‍රයට නැගීමට බවත් ඔහු ඈට කීවේ ය.

පියසේන ධනවත් තරුණයෙකි. සෝමාගේ දෙමවුපියෝ ඔහු පමණ වත්පොහොසත්කම් ඇත්තවුන් නො වූවත්, දුප්පත් නොවූහ. සෝමා හා විවාහ වීමෙන් පසු පියසේන කොළඹ අසල පෙදෙසක පිහිටි තමාට අයිති පැරණි ගෙයක වාසයට ගියේය. එය බොහෝ කාමරවලින් යුත් මිටි ව පැතිරී සිටින සේ සෑදුවකි. ගෙයි ආලින්දයට යාබදව පිහිටි කාමරයක් ඔහු සිතුවම් අඳින කාමරය කොට ගත්තේය.

විවාහයෙන් දෙමසකට පමණ පසු ඔහු සෝමාගේ ප්‍රතිරූපය ඇඳීම ආරම්භ කළේය.තම සැමියා සිතුවම් ඇඳීමෙහි ශූරයෙකි යනු සෝමාගේ අදහස විය. දිනපතාම උදයෙහි පියසේන ඇය තමා ඉදිරියෙහි පුටුවක හිඳුවා චිත්‍රය ඇඳීමට පටන් ගනියි. ඊට පෙර සිත්තරකු විසින් සෝමාගේ ප්‍රතිරූපය නොඇන්ද හෙයින් ප්‍රතිරූපය නිම වන තෙක් ඈ නොඉවසිල්ලෙන් බලා සිටියා ය. ඔහු ඉක්මනින් එය නොඅඳිතියි ද ඇතැම් විට ඈ දොස් නැගුවාය.

ප්‍රතිරූපය අඳින කාමරයට සෝමා නොපැමිණිය යුතු යයි එය ඇඳීම ආරම්භ කොට දෙසතියකට පමණ පසු දිනක් උදයේ පියසේන ඇයට කීවේය.

" දැන් සෝමා දිහා නොබලා පින්තූරය ඇන්ද හැකි. ඒ නිසා එන්ට එපා " යි ඔහු කාමරය දෙසට යමින් කීවේය.

"එහෙනම් මම නිකම් එන්නම්. පියසේන පින්තූරය අඳින දිහා බලන් ඉන්න ආසයි " යි ඈ ඔහු පස්සෙන් යමින් කීවා ය.

" එපා. පින්තූරය අඳින කාමරයට කොහෙත් ම එන්ට එපා. ඔයා කාමරයට ආවා ම කට පියාගෙන ඉන්නේ නැහැ. කථා කරන්ට වුණා ම මට පින්තූරය අඳින්ට බැහැ ''

" මම කථා කරන්නේ නැහැ. මම වචනයක්වත් නො කියා ඉන්නවා ' යි ඈ බැගෑපත් හඬින් කීවා ය.

" බැහැ. තරහ වෙන්ට එපා. කාමරයට එන්ට දෙන්ට බැහැ ' යි ඔහු දැඩි ලෙස කීවේ ය.

ඇගේ දෙනෙතට කඳුළු පිරිණ. ඇගේ දෙතොල් සංවේගයෙන් වෙව්ලන්ට විය. ඈ කථා කිරීමට තැත් කළ නමුත් කිසිවක් කියා ගත නොහැකි විය. ඈ වැගිරෙන කඳුළු ඇතිව ඉක්මන් ගමනින් ඔහු අසලින් ඉවත් විය.

පියසේන තවත් කිසිවක් නොකියා සිතුවම් අඳින කාමරයට ඇතුළු ව පිටතින් ඇරිය නො හැකි වන ලෙස එහි දොර වැසුවේ ය.

ඔහු දහවල් ආහාරය සඳහා කාමරයෙන් පිටතට ආ විට ඈ ඔහු හා කථා නොකළාය. තමා හා එක් වී ආහාර අනුභව කරන ලෙස පියසේන ඇයට පෙරැත්ත කළ නමුත් ඈ කිසිවක් නොකා මේසය අසල හිඳ සිටියාය. එදින ඈ විසින් කිසිවක් අනුභව නොකරන ලදී. ඔහු හා කථා කිරීමට ද ඈ කැමති නො වූවා ය. පසු දින ඈ ආහාර අනුභව කළ නමුත් ඇගේ කෝපය පහ නො වී ය.

ඊට පසු දින පියසේන චිත්‍රය අඳින විට ඈ අවුත් කාමරයේ දොරට ගසා තමාට ඇතුළට ඒමට ඉඩ දෙන ලෙස බැගෑපත් ලෙස ඉල්ලුවා ය. එහෙත් ඇයට කාමරයට ඒමට ඉඩ දීමට ඔහු කැමති නොවීය.

ඊට පසු ඈ හැඬීම අත් හළ නමුත් තමාට කාමරයට ඇතුළු වීමට ඉඩ දෙන ලෙස විටින් විට පෙරැත්ත කිරීම අත් නොහැරියාය.

 චිත්‍රය ඇඳීම ආරම්භ කොට සති පහක් පමණ ගත විය.දිනක් දහවල් පියසේන තමා හමු වීමට පැමිණි මිත්‍රයකු සමග ආලින්දයේ කථා කරමින් සිටියේ ය. ගෙයි සාලයෙහි රේන්දයක් ගොතමින් සිටි සෝමා ඔවුන්ගේ කථාවට විටින් විට කන් දුන්නා ය.

 

තමා ඊට දෙදිනකට පෙර විශාල චිත්‍රයක් ඇඳ නිම කළ බව පියසේන තම මිත්‍රයාට කියනු ඇයට ඇසුණේය. දවස් දෙකකට පෙර චිත්‍රය ඇඳීම නිම වූ බව ඇසීමෙන් ඇගේ කුතුහලය තවත් වැඩි විය. කිසි විටක ඔහු චිත්‍රය තමාට නොපෙන්වති යි ඇයට සිතිණ. ඔහුට නොදන්වා චිත්‍රය බැලීමට ඈ තීරණය කර ගත්තාය.

පියසේන කිසිවක් සන්ධ්‍යාවෙහි එදින සඳහා ගෙයින් පිටතට ගියේය. නිවාසයෙහි වත්තට ඇරෙන විශාල කවුළුවක් චිත්‍ර අඳින කාමරයෙහි ඇත. මේ කවුළුව කඩා විවෘත කොට චිත්‍රය බැලීමට සෝමා සිතුවා ය. ඈ මුළුතැන්ගෙයින් දර පළන විශාල මන්නයක් ගෙන වත්තට ගියා ය. ඈ වසා තිබුණු කවුළුවෙහි දෙපියනට අස්සෙන් මන්නය ඇතුළු කොට කවුළුවෙහි අගුල කැඩුවා ය. ඈ නොඉවසිල්ල නිසා වෙව්ලන ඇඟිලිවලින් කවුළුවෙහි දෙපියන ඇරියාය. පිටිපසින් වීදුරු ජනේලයක් විය. එය ඇතුළතින් අගුල්ලා වසා තිබුණේ ය. වීදුරු ජනේලයෙන් පිටිපස නිල් පැහැති රෙද්දෙන් කළ තිරයක් තිබුණු හෙයින් කාමරය තුළ වූ කිසිවක් ඇයට නොපෙනිණ. ඇයගේ නොඉවසිල්ල වඩාත් දියුණු විය. ඈ මන්නයෙන් ගසා ජනේලයෙහි වීදුරුවක් බින්දා ය. කැඩුණු වීදුරුවට අස්සෙන් අත දමා ඈ තිරය මදක් ඉවත් කොට ජනේලයෙහි සිදුරට මුහුණ ළං කොට දෙනෙතින් කාමරයෙහි ඇතුළ පරික්ෂා කරන්ට විය. ඇගේ නෙත් කිසිවක් කෙරෙහි යොමු වී නිශ්චල විය. ඒවා ක්‍රමයෙන් විශාල වූයේ ය. අවතාරයක් දුටු කලක මෙන් ක්‍රමයෙන් ඇගේ දෙනෙතට භීතියක් නැගිණ. ඇගේ ළැම වහ වහා
උස්ව පහත් වන්ට විය. ක්‍රමයෙන් විවෘත වූ ඇගේ මුඛයෙහි තොල් වියළී ගියේ ය. ජනේලයේ සිදුරට මුහුණ තද කොට මෙසේ බලා සිටි ඇගේ මුඛයෙන් බියකරු හඬක් නික්මිණ.

ඈ බියපත් මුහුණින් යුතු ව ජනේලය අසලින් ඉවත්ව වියරු වැටුණු එකියක මෙන් ගෙය ඇතුළට දුව ගියාය. ඈ තම නිදන කාමරයට ඇතුල් ව දොර වසා ගත්තාය. එදින රාත්‍රියෙහි අටට පමණ පියසේන ගෙදරට පැමිණි විට සෝමා දකින්ට නොසිටියා ය. ඈ සන්ධ්‍යාවේ සිට නිදන කාමරයට වී සිටින බව මෙහෙකරුවෝ ඔහුට කීහ.

නිදන කාමරයේ දොර වසා තිබුණු හෙයින් ඔහු ඊට අතින් ගසට විය. එහෙත් ඇතුළින් කිසි පිළිතුරක් නොලැබිණ. කාමරය තුළ නිශ්ශබ්දතාවක් පැවතිණ. කාමරයෙහි එළියක් දල්වා නැති බව දොරෙහි යතුරු සිදුර අස්සෙන් බැලූ විට පියසේනට පෙනුණේ ය.

ඔහු දොර කඩා කාමරයට ඇතුළු විය. ඔහු කාමරයෙහි ඇති විදුලි පහන දල්වා අවට බැලුවේ ය. කකුල් පහතට වැටෙන ලෙස සෝමා ඇඳ හරහා වැතිර සිටියාය. ඇඳ අසල වූ කනප්පුව උඩ ලියුමක් ද ඒ ළඟ ම කුඩා බෝතලයක් ද විය. කුඩා බෝතලය පියසේන එක වර ම හැඳින්නේ ය.

දොර මෙහෙකරුවන් දෙදෙනාට ඔහු කනප්පුව වෙත ගොස් කාමරයේ අසල සිටි නොපෙනෙන ලෙස ලියුම කලිසම් සාක්කුවේ දමා ගත්තේ ය. ඉක්බිති ව ඔහු ඇඳ අසලට ගොස් සෝමා පරීක්ෂා කොට බැලුවේ ය. ඈ පියාගත් නෙත් ද මුවද ඇති ව මැරී සිටියාය.

කාමරයෙන් පිටතට ආ ඔහු තම බිරිඳ වස බී මැරී සිටින බව පොලිසියට දන්වන ලෙස මෙහෙකරුවකුට නියම කළේය.

ඔහු සිතුවම් අඳින කාමරයට ගොස් එහි විදුලි පහන දල්වා අගුල දමා දොර වැසුවේ ය. ජනේලයෙහි වීදුරුවක් කඩන ලද බව ඔහුට පෙනිණ.

ඔහු කලිසම් සාක්කුවෙන් ලියුම එළියට ගෙන සෙමින් කියවන්ට විය.

එහි මෙසේ කියා තිබුණේ ය.

" ඔබ කෙරෙහි මා තුළ වූ ප්‍රේමය මෙය ලියන විට වුවද මදක් හෝ අඩු වී නැති බව පළමු කොට කිව යුතු ය. එහෙත් ඒ බව ඔබ ලවා විශ්වාස කරවිය නොහැකි බව මම දනිමි. මා දිවි නසා ගන්නේ එහෙයිනි. ඔබ මා ගැන මුළා වී සිටින බව ඔබ ඇඳි චිත්‍රයෙන් හැඟෙයි. ඔබ මුළා වීම ගැන වගකිව යුත්තේ මා පමණ යයි සිතමි. එය සිදු වූ සැටි මා විසින් ඔබට කිව යුතුව තිබුණේ ය. මා එදින ඔබට එය කීවේ නම් ඔබ මා විශ්වාස කරන්නෙහි යයි සිතමි. එහෙත් එය ඔබට කීමට තරම් මට ⁣ධෛර්යයක් උපදවා ගත නොහැකි විය. එය සිදුවනු ඔබ දුටු බව මට සැක සහිත විය. ඔබ එය නො දුටුවේ නම් ඔබට ඇත්ත කීම නුවුවමනා යයි ද මට සිතිණ. ඔබ මගෙන් පලිගැනීමට මේ උපක්‍රමය යෙදුවේ ක්‍රෑරතරයකු ලෙස බව කිව යුතු ය. එහෙත් ඔබ මෙන් මුළා වූ කවරකු වුව ද ක්‍රෑරතර ලෙස හැසිරිය හැකැයි සිතමි.


'චිත්‍ර අඳින කාමරයට මා ඇතුල් නො විය යුතු යයි ඔබ නියම කළේ එය සිදු වූ දිනට පසු දින ය. ඔබ විශ්වාස කළත් නොකළත් එය සිදු වූ සැටි මා විසින් දැන් විස්තර කළ යුතු ය.

නිමල් මගේ මෑණියන්ගේ සහෝදරයාගේ පුත්‍රයා හෙයින් ඔහු  ගෙදරට නිතර පැමිණියේ ය. මට ආලය කරන බව ඔහු මට නිතර කියූ නමුත් මම කිසි විටක ඔහුට ප්‍රේම නොකළෙමි.

මා ඔහුට ප්‍රේම නොකරන බව මා ඔහුට කී නමුත් මට රහසින් ලියුම් ලිවීම ඔහු අත් නොහැරියේ ය. මා නිසා මෙසේ වෙහෙසෙන ඔහු කෙරෙහි මා තුළ දැඩි අනුකම්පාවක් ඇති වු බව මා විසින් පිළිගත යුතු ය. එය සිදුවූයේ ඒ අනුකම්පාව වරක් මාගේ විචාර බුද්ධිය මැඩගෙන පැන නැගුණු හෙයිනි.

' ඔබ ඔහු කෙරෙහි සැක කළ හැකි බව මට වැටහුණු හෙයින් අපේ ගෙදරට කලාතුරකින් මිස නොඑන ලෙස මා ඔබ හා විවාහ ගිවිසගත් පසු ඔහුට අවවාද කළෙමි. ඊට පසු ඔහු නීති විද්‍යාලයේ ඉගෙනීම අත්හැරියේය. ඔහු ජීවිතය කෙරෙහි කලකිරුණකු මෙන් හැසිරෙන්ට විය.

මා ඔබ හා විවාහ වූ පසු ඔහු කිහිප වරක් ම මේ ගෙදරට ආවේ ය. ඔහු මෙහි ආ අන්තිම වාරයෙහිදී හැරෙන්ට ඔහු ආ සැම විටම ඔබ ගෙදර සිටියේ ය. ඒ අවස්ථාවලදී ඔහු තම ප්‍රේමය ගැන මා සමග කථා කිරීමට නොසිතුවේ එහෙයිනැයි සිතමි. අන්තිම වාරයට ඔහු මෙහි ආ විට ඔබ ගෙදර නොසිටියේය. ඔහු එන විට


මම මගේ නිදන කාමරයට යාබද කාමරයෙහි ඇඳුමක් මසමින් සිටියෙමි. ඔබ ගෙදර නැති බව දැන ගැනීමෙන් ඔහු තුළ ප්‍රීතියක් ඇති වූ බව මට පෙනිණ. ඔහු මා හිඳ සිටි සෝපාවෙහි පසක හිඳ ගත්තේය. ඔහු මා කෙරෙහි මුළු හිතින් ප්‍රේම කරන බවත් මා ඔහුට ප්‍රේම නොකිරීම නිසා ඔහු කාලකණ්ණියකු වී සිටින බවත් ඔහුගේ අනාගතය මා නිසා අවාසනාවන්ත වුණු බවත් ඔහු මට කීවේ ය. මගේ විවාහයෙන් පසු ඔහු තම ගෙදර උමතු වැටුණු එකකු මෙන් හැසිරෙන්ට වූ බව මට ඊට පෙර දැනගන්ට ලැබිණ. මා විවාහ වූ ස්ත්‍රියක හෙයින් ප්‍රේමය ගැන මා සමග කථා නොකළ යුතු යයි මම ඔහුට කීවෙමි. එවිට ඔහු මා පාමුල දණ ගසා ගත්තේය. තමාට ආලය කරන ලෙස ඔහු කඳුළු රැඳුණු දෙනෙතින් යුතු ව මට යාච්ඤා කරන්ට විය. මා නිසා විඳින චිත්ත සන්තාපය නිසා වැහැරී ගිය ඔහුගේ මුහුණ දෙස බැලූ මා තුළ දැඩි අනුකම්පාවක් ඇති විය. ඒ අනුකම්පාව මගේ විචාර බුද්ධිය මැඩගෙන පැන නැගුණු බව මම යට කීවෙමි. මම නැඹුරුව ඔහුගේ හිස දෙඅතින් අල්ලා සිප ගතිමි. කිසිවකු ගෙයි ඇවිදින බව එවිට මට දැනිණ. ඔබ ගෙදර එන්ට ඇතැයි එවිට මා තුළ සැකයක් පහළ විය. වහා නැගිට කාමරයෙන් එළියට ආ විට ඔබ ආලින්දයේ සිටින බව මම දුටුවෙමි. ඔබ සිටියේ ආලින්දයේ හෙයින් ඔබ එය නොදකින්ට ඇතැයි මට සිතිණ. ඔබ නිමල් සමග මිත්‍ර ලෙස කථා කළ හෙයින් ද ඔබ ප්‍රීතිමත් ලෙස හැසිරුණු හෙයින් මා තුළ සැකයක් ඇති නොවීය. මා නිමල් සමග සිටිනු දැකීමෙන් පසු ඔබ ආලින්දයට යන්ට ඇති බව මට වැටහුණේ දැන් එළියේ කාමරයෙහි ජනේලය කඩා එහි තිබුණු චිත්‍රය දුටු විට ය. චිත්‍ර අඳින කාමරයට මා නොආ යුතු යයි ඔබ කීවේ එය සිදු වූ දිනට පසු දින බව මම ඉහත කීවෙමි. මා ඒ කාමරයට ඒම ඔබ වැළැක්වූයේ ඔබ එතෙක් ඇඳ තිබුණු මගේ ප්‍රතිරූපය මකා වෙන චිත්‍රයක් ඇඳීම සඳහා ය. ඔබ එය මකා ඇඳි චිත්‍රයෙහි ද මගේ රූපය තිබේ. එහෙත් එය මගේ ප්‍රතිරූපය පමණක් දක්වන චිත්‍රයක් නොවේ. එය මා නිමල් සිප වැළඳගෙන සිටින සැටි දක්වන චිත්‍රයකි. අද එය දුටු විට මා තුළ ඇති වූ ශෝකය ද භීතිය ද මට විස්තර කළ නොහැක. ඔබ පළමුවෙන් ප්‍රතිරූපය ඇඳීම ආරම්භ කළේ මගේ සිත හෙවත් අධ්‍යාත්මික සෞන්දර්යය දැක්වීම සඳහාය. මා නිර්මල ප්‍රේමයෙන් යුතු ගැහැනියකැයි එකල ඔබ සිතුවෙහිය. එහෙත් මා කාම රාගයට වසඟ වූ ගැහැනියක ය යන මුළාව නිමල් පිළිබඳ සිදුවීම ඇති වූ දින ඔබ තුළ පහළ වූ බව පෙනේ. චිත්‍රය ඇඳ නිම වූ බව ඔබ අද මිත්‍රයෙකු සමග කීවේ මට එය ඇසෙති යි යන විශ්වාසය ඇතිව යයි සිතමි. මා විසින් දිවි නසා ගැනීම ද ඔබ බලාපොරොත්තු වූයේ දැයි නොදනිමි.

ලියුම කියවා අවසන් කළ පියසේන ගිනිකුරක් දල්වා ඇල්ලීමෙන් ලියුම පිලිස්සුවේ ය. ඉක්බිතිව ඔහු සෝමා ද නිමල් ද දක්වන චිත්‍රය සම්පූර්ණයෙන් වැසෙන ලෙස නිල් සායම් ගෑවේය.

කාමරයෙන් පිට වූ ඔහු පොලිස් නිලධාරීන් එන තෙක් ආලින්දයේ ඔබ මොබ සක්මන් කරන්ට විය.