සරු බිස්නස්කරුවෙක් වූ ස්මිත් සිත් වශී කරන සුලු හෝටලයකට අයත් විදුලි සෝපානයේ දොර ඇර සිහින් සිරුරක් ඇති කාන්තාවක අතින් අල්ලා ඊට ඇතුළු කළේ කාමාතුර විලාසයකින්. ඇය ඇඳ සිටි ලොම් ඇඳුම්වලින් හා තවරාගෙන හුන් පියරුවලින් සුවඳ විහිදුණා. ඔවුන් දෙදෙනා මොළොක් අසුනෙහි එකිනෙකාට තුරුල්ව වාඩිගත් පසු විදුලි සෝපානය පහළ බලා ගමන් ඇරඹුවා. සියුමැලි කාන්තාව වයින්වලින් තෙත් වුණු අඩක් විවර වුණු තම මුහුණ ඔහු වෙත දිගු කළා. ඉන් පසු ඔවුන් දෙදෙනා සිප වැලඳගත්තා. ඔවුන් එදින අහර ගත්තේ හෝටලේ අහසට ඇරුණු මුදුන් තට්ටුව මත තරු එළියේයි. දැන් ඔවුන් රමණය පිණිස යමින්.
"හෝටලේ මුදුන් තට්ටුවෙ අපි වින්දෙ දිව්‍යමය ආස්වාදයක්."
ඈ රහසින් පැවසුවා.
"තරු අතරෙ ඉන්නව වගේ ඔයත් එක්ක එතන වාඩිවෙලා ඉන්නකොට දැනුණෙ කාව්‍යමය රසයක්. ඇත්තටම ආදරය කියල කියන්නෙ මොකක්ද කියල දන්නව නං තමයි එහෙම දැනෙන්නෙ! ඔයා මට ඇත්තටම ආදරෙයි නේද?"
පෙරටත් වඩා දිගු වෙලාවක් පැවති හාද්දකින් ස්මිත් පිළිතුරු දුන්නා. විදුලි සෝපානය පහළට ගමන් කළා.
"ඔයා ආව එක කොච්චර හොඳද!" ඔහු කිව්වා.
"නැත්නං මම හරි අමාරු තත්වයකට පත්වෙනවා.."
"ඒක ඇත්ත තමයි. ඒත් ඔයාට යන්තංවත් හිතන්න පුළුවන් නං මට එයා රුස්සන්න බැරි උණු තරම. මං එන්න ලෑස්ති වෙනකොටම එයා ඇහුව මං කොහෙද යන්නෙ කියල".
"මං කැමති දිහාවකට මං යනව."
"මං කිව්වා".
"මං හිරකාරියක් නෙමෙයි".
"ඊට පස්සෙ එයා හොඳට හරි බරි ගැහිල වාඩිවෙලා මං ඇඳුම් මාරු කරල මගේ මේ අලුත් ඇඳුම ඇඳගන්නකම්ම ඒ දිහා ඇහැ ගහගෙන බලා උන්නා. මේ ඇඳුම මට ගැළපෙනවද? වැඩියම ලස්සන මොන පාටද ඔයා හිතන්නෙ? රෝසපාට !"
"කොයි ඇඳුමත් ඔයාට ගැළපෙනවා."
ඔහු කිව්වා.
"ඒත් අද හැන්දෑවෙ තරං ලස්සනට මං ඔයාව මීට කලින් කවදාවත් දැකල නෑ."
ඈ තෘප්තිමත් මඳ සිනාවකින් යුතුව තම ලොම් කබාය විවෘත කළා. ඉන්පසු බොහෝ වේලාවක් ඔවුන් දෙදෙනා සිප වැලඳගත්තා. විදුලි සෝපානය පහළට ගමන් කළා
"ඊට පස්සෙ මං එන්න පිටත් වෙන කොට එයා මගේ අත අල්ලගෙන කිටි කිටියෙ මිරිකුවා. අත තාමත් රිදෙනව. එයා වචනයක්වත් කතා කළේ නෑ. එයා කොයිතරං මුරුගයෙක්ද කියල ඔයාට හිතන්නත් බෑ."
"ගුඩ් බායි"
"මං කිව්ව. ඒත් එයාගෙන් වචනයක්වත් නෑ. මට රුස්සන්න බැරි තරං මහ අමන විදියට එයා හැසිරුණේ."
"අසරණ කෙල්ල."
ස්මිත් කිව්වා.
"හරියට එළියට පහළියට ගිහිල්ල මට ටිකක් විනෝද වෙන්න බැරුව වගේ. ඒත් ඊට පස්සෙ එයා කොයි තරං බැරෑරුම් වේසයක් ආරූඩ කරගත්තද කියල ඔයාට හිතන්නත් බෑ. එයාට බෑ කිසි දෙයක් සුළු විදියට ස්වාභාවික විදියට ගණන් ගන්න. හැම තිස්සෙම එයා ඕනෑම දෙයක් සලකන්නෙ ජීවිතයයි මරණයයි අතරෙ පවතින දෙයක් හැටියටයි."
"හුරතල් කෙල්ල. අසරණ ඔයා මොන තරං දුක් විඳල ඇද්ද!"
"අයියෝ මං පුදුම දුකක් වින්දෙ! පුදුම දුකක්! වෙන කිසිම කෙනෙක් මං තරං දුක් විඳල නෑ. ආදරේ කියන්නෙ මොකක්ද කියල මං දැනගත්තෙ ඔයා මුණගැහුණට පස්සෙ!"
"සීදේවි කෙල්ල!"
ස්මිත් ඇය වැලඳ ගනිමින් කිව්වා. විදුලි සෝපානය පහළටම ගමන් කළා.
"ඔයත් එක්ක උඩට වෙලා ඉඳගෙන තරු දිහා බල බල සිහින අතරෙ සැරි සර සර හිටි හැටි හිතන්න. අනේ මට ඒක කවදාවත් අමතක වෙන්නෙ නෑ. ඔයා දන්නවද! එයා එක්ක එකට ජීවත් වෙන්න බෑ. එයාගෙ ගාම්බීර ගතිය සදහටම එහෙමයි. එයා ළඟ අබ මල් රේණුවක් තරංවත් කවි හිතක් නෑ. ඒ ගැන කිසිම හැඟීමක් නෑ."
වැලඳ ගැනීමෙන් පසු ඇයට හුස්ම ගත හැකි වූ සැණින් පැවසුවා.
"ඒක ඉවසන්න බෑ තමයි සීදේවි කෙල්ලෙ!"
"ඔව්. ඒක ඉවසන්න බෑ. ඒත්!"
මඳ සිනාවකින් යුතුව තම අත ඔහුට දෙමින් ඈ දිගටම කියාගෙන ගියා.
"අපි මෙතන ඉඳගෙන ඒ ගැන හිතන්නෙ මොකටද! අපි ආවෙ විනෝද වෙන්න. ඔයා මට ඇත්තටම ආදරෙයි නේද?"
"ඔව්. ඇත්තටම ආදරෙයි!"
ඇගේ මුව විවරව යන සේ ඇය පිටුපසට නමමින් ඔහු පැවසුවා. විදුලි සෝපානය පහළට ගමන් කළා. ඇය වෙත නැඹුරු වූ ඔහු ඇය හුරතල් කරන්නට වුණා. ඈ ලැජ්ජාවෙන් රතු වී ගියා.
"කවදාවත් නොවින්ද විදියට අපි අද රෑ ආදරයෙ රස විඳිමු. හ්ම්!"
ඔහු රහසින් පැවසුවා
ඔහු තමා වෙතට තුරුලු කරගත් ඈ දෙනෙත් පියා ගත්තා. විදුලි සෝපානය පහළට ගමන් කළා.
තව තවත් පහළට ගමන් කළා. අන්තිමේදී ස්මිත් නැගිට සිටියා. ඔහුගේ මුහුණ ලජ්ජාවෙන් රතු වුණා
"මොකද මේ ලිෆ්ට් එකට වෙලා තියෙන්නෙ!"
ඔහු උස් හඬින් ඇහුවා.
"ඇයි ඒක නවතින්නෙ නැත්තෙ.අපි සෑහෙන වෙලාවක් මේක ඇතුළෙ ඉඳගෙන කතා කර කර හිටියනෙ."
"ඔව් අනේ! හිටිය නේන්නං ! කොච්චර ඉක්මනට කාලෙ ගත වෙනවද !"
"දෙයියනේ ! අපි දෙන්න මෙතන කල්ප ගාණක් හිටිය වගේ ! එහෙම හිතෙන්නේ නැද්ද?"
ස්මිත් ලිෆිට් එකේ ගරාදි අතරින් පිටත බැලුවා. තිත්ත කළුවර විතරයි. විදුලි සෝපානය එකම වේගයකින් ගැඹුරින් ගැඹුරටම නොනැවතීම ගමන් කළා.
" දෙයියනේ මේක හරියට අගාධයකට ඇදගෙන වැටීමක් වගේනෙ. අපි දෙන්න මේ විදියට කොච්චර වෙලා ඉන්න ඇද්ද කියල දෙයියො තමයි දන්නෙ!"
ඔවුන් අගාධය තුළට එබී බලන්න තැත් කළා. තිත්ත කළුවරයි. ඔවුන් ඒ තුළට ඔහේ ගිලීගෙන ගිලීගෙන ගියා
"මේක යන්නෙ අපායට."
ස්මිත් කීවා.
'අයියෝ!"
ඔහුගේ අතේ එල්ලී ගත් කාන්තාව විලාප දුන්නා.
"මට නං හරි බයයි. හදිසි බ්‍රේක් එක අදින්නකෝ."
ස්මිත් තම මුළු වැර යොදා බ්‍රේක් එක ඇද්දා. ඒත් එයින් පලක් උණේ නෑ. විදුලි සෝපානය නොනැවතීම අගාධය තුළට ගිලීගෙන ගිලීගෙන ගියා.
"මේක හරි භයානකයි.!"
ඈ කෑගැහුවා.
"දැන් අපි මොකද කරන්නෙ?"
"යකාගෙ දෙයක් කියල කරන්නද!"
ස්මිත් කිව්වා.
"මේක විකාර වැඩක් නෙ!"
බලාපොරොත්තු සුන්ව ගිය සියුමැලි කාන්තාව කඳුළු සලන්න පටන් ගත්තා.
"ඔන්න! ඔන්න! අනේ මගේ සීදේවි කෙල්ලෙ අඬන්න එපා. අපි කල්පනාවෙන් වැඩ කරන්න ඕන. මේ වෙලාවෙ අපිට කරන්න කිසිම දෙයක් නෑ. ඔහොම වාඩිවෙන්නකො. ආ අන්න හරි .දැන් ඉතිං අපි දෙන්න සන්සුන්ව එකට ළං වෙලා සිද්ධ වෙන්නෙ මොකක්ද කියල බලා ඉම්මු. ලිෆ්ට් එක කොයි වෙලාවෙ හරි නවතින්න එපාය. නැත්නං යකාට ගියාවෙ!"
ඔවුන් වාඩිවී බලා සිටියා.
"නිකං හිතන්නකෝ! වෙච්ච දේක හැටි!"
කාන්තාව කීවා.
"විනෝද වෙන්න යමින් හිටිය අපිනෙ!"
" යකාගෙ වැඩක් නේන්නං!"
ස්මිත් කිව්වා.
"ඔයා මට ඇත්තටම ආදරෙයි නේද?"
"සීදේවි කෙල්ල!"
ස්මිත් තම දෑත ඇය වටා යවමින් පැවසුවා. විදුලි සෝපානය පහළට ගමන් කළා.
අන්තිමේදී එය හිටි හැටියෙ නැවතුණා.ඇස් කකියවන දීප්තිමත් ආලෝකයක් හැම පැත්තෙන්ම විහිදුණා.
ඔවුන් පැමිණ සිටියෙ අපායට.
යක්ෂයා ඉතාමත් ආචාරශීලී ලෙස ගරාදි දොර පසෙකට තල්ලු කළා.
"සුබ සැන්දෑවක් වේවා!"
හොඳටම දෙකට නැමී සිට ඔහු පැවසුවා. ලොම් සහිත වල්ගාවලින් ඔහු ඉතා අලංකාර ලෙස සැරසී සිටියා.
නිලංකාර වී ගිය ඇස් ඇති ස්මිත් සහ කාන්තාව වැනි වැනී එළියට පැමිණියා.
"දෙයියන්ගෙ නාමෙට අපි මේ කොහෙද ඉන්නෙ?"
අද්භූත අවතාරය නිසා තැති ගත් ඔවුන් උස් හඬින් ඇහුවා. මඳ අසීරු තත්වයකට මුහුණ පෑ යක්ෂයා ඔවුන්ට කරුණු පහදල දුන්නා.
"ඔය කියන තරං මෙතන නරක නෑ."
ඔහු වහා පැවසුවා.
"මං හිතන්නෙ ඔහේලට මෙතන සන්තෝෂයෙන් ගත කරන්න පුළුවන් වේවි. රෑ ගෙවන්න විතරනෙ බලාපොරොත්තුව?"
"ඔව් ඔව්!"
ස්මිත් බලවත් උනන්දුවකින් මනාපය පළ කළා.
"රෑ ගෙවා ගන්න විතරයි. අපොයි මෙහෙ නවතින්න ආව නෙමෙයි."
සියුමැලි කාන්තාව වෙවුලමින් ඔහුගේ අතට ඇලුණා. කාගෙන යන කහ පැහැයට බර කොළ පැහැති එළිය නිසා ඔවුන්ට කිසිවක් පෙනුණෙ නෑ. හාත්පසින් උණුසුම් සුවඳක් වහනය වන බවක් ඔවුන්ට දැනී ගියා. ඔවුන්ගේ දෑස තරමක් අවට පරිසරයට පුරුදුවනවාත් සමගම තමන් චතුරස්‍රයක් වැනි තැනක හිටගෙන ඉන්නාක් මෙන් ඔවුන්ට පෙනී ගියා. ඒ වටා පිහිටි නිවෙස් බබළන දොරටු සහිතව අඳුර මැද උස්ව නැගී හිටියා. තිර ඇද තිබුණද ඇතුළු පැත්තේ කිසිවක් දැල්වෙමින් තිබෙනු සිදුරු අතරින් ඔවුන්ට දැක ගත හැකි වුණා.
"ඔය දෙන්නා එකිනෙකාට ආදරේ කරන දෙන්නෙක්?"
යක්ෂයා විමසුවා.
"ඔව් ! ආදරෙන් පිස්සු වැටිලා."
තම පියකරු දෑසින් යක්ෂයා වෙත බැල්මක් හෙලූ කාන්තාව පිළිතුරු දුන්නා.
"එහෙනං මේ පාරෙන් එන්න."
එසේ කී යක්ෂයා කරුණාකර තමා පසුපස එන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා හිටියා. චතුරස්‍රයෙන් පිටතට වැටී ඇති අඳුරු අතුරු වීදියක් තුළ ඔවුන් සැඟවී ගියා. මැලියම් වැනි දෙයක් ගෑවී තිබුණු අපවිත්‍ර දොරටුවක පිට පැත්තේ බිඳුණු පරණ ලන්තෑරුමක් එල්ලෙමින් තිබුණා.
"මෙන්න තියෙනව තැන."
දොර විවෘත කළ යක්ෂයා විමසිල්ලෙන් යුතුව එතැනින් ඉවත්ව ගියා.
ඔවුන් දෙදෙනා ඇතුළු වුණා. විශාල දෙතනක්ද කට වටා වූ උඩු රැවුලෙහි තැවරුණු දම්පාට පියරු තට්ටුවක්ද ඇති තරබාරු අලුත් යක්ෂණියක ලොකු ඇඟෑලුම් කමක් දක්වමින් ඔවුන් පිළිගත්තා. හුස් හුස් හඬින් සිනාසුණු ඇගේ පබළු දෑස් මත දන්නා හඳුනන්නෙකුගේ වැනි කරුණාවන්ත බැල්මක් තිබුණා. ඇගේ නළලෙහි වූ අං දෙක වටා දැවටූ හිසකේ කුඩිම්බි දෙක නිල් පාට කුඩා සිල්ක් පීත්ත පටි වලින් ගැට ගසා තිබුණා.
"ඕ! මේ අර ස්මිත් මහත්තයයි පුංචි නෝනයි නේද?"
ඈ පැවසුවා.
'එහෙනං නොම්බර අටේ කාමරයේ."
ඈ ඔවුන් අතට විශාල යතුරක් දුන්නා.
මැලියම් වැනි දෙයක් තැවරී තිබුණු කළු ගැහුණු පඩි පෙළ දිගේ ඔවුන් උඩට නැග්ගා. තෙල් තැවරුණු පඩි පෙළ ලිස්සන සුලුයි. කාමරය තිබුණේ පඩි පේලි දෙකකට ඉහළින්. නොම්බර අටේ කාමරය හමුවුණු ස්මිත් ඊට ඇතුළු වුණා. එය තරමක් විශාල පුස් ගඳ ගහන කාමරයක්. ඒ මැද කිලුටු රෙද්දක් එලූ මේසයක් තිබුණා. තුනීයට ඇතිරිල්ලක් ඇතුරූ ඇඳක්ද බිත්තිය අසල තිබුණා. ඒ සියල්ලම ඉතා සිත් ගන්නා සුලු යැයි ඔවුන්ට හිතුණා. කබා ගලවා දැමූ ඔවුන් බොහෝ වේලාවක් සිප වැලඳ ගනිමින් හිටියා.
එක්තරා මිනිහෙකු ගණනකට
නැතිවාක් මෙන් වෙනත් දොරකින් කාමරයට ඇතුළු වුණා. ඔහු වේටර් කෙනෙකු මෙන් සැරසී හිටියත් ඔහු හැඳ උන් රාත්‍රී භෝජන අවස්ථා සඳහා ඇඟ ලන ජැකට්ටුව කල එළියට කපා තිබුණා. ඔහුගේ කමිසයේ ඉදිරි පස කොතරම් පිරිසිදුද කියතොත් එය අඩ අඳුරේ අවතාරයක ස්වරූපයෙන් බැබළුණා. හඬ නොනැගෙන සේ පියවර තබමින් නිහඬව ගමන් කළ ඔහුගේ අංග චලනය යාන්ත්‍රිකයි. එහෙම පිටින්ම වගේ විඥානයෙන් තොරයි. ඔහුගේ මුහුණේ සටහන් වී තිබුණේ දැඩි පෙනුමක්. ඔහුගේ දෑසේ බැල්ම තිර ලෙස කෙළින්ම ඉදිරියට යොමු වී තිබුණා. ඔහු මළාක් මෙන් සුදුමැලියි.වෙඩි උණ්ඩයක් වැදීමෙන් හටගත් තුවාලයක් ඔහුගේ එක් කම්මුලක තිබුණා. කාමරය සූදානම් කළ ඔහු ඇඳුම් අඩු වැඩිය තබන මේසය පිස දමා පිස්පෝච්චියක් හා කිලුටු වතුර දැමීම සඳහා බාල්දියක්ද ගෙනැවිත් තැබුවා.
ඔවුන් ඔහු ගැන එතරම් සැලකිල්ලක් දැක්වුවේ නෑ. ඒත් ඔහු පිටවී යන්න සූදානම් වන විට ස්මිත් මෙසේ කිව්වා.
"අපි වයින් ටිකක් බොමු. අපිට වයින් බෝතල බාගයක් ගේන්න."
හිස නැමූ මිනිහා නොපෙනී ගියා.
ස්මිත් ඇඳුම් ගලවන්න පටන් ගත්තා. කාන්තාව දෙගිඩියා වුණා.
"ඒ මිනිහා ආපහු එනවා."
ඈ කිව්වා.
"ෂැඃ මේ වගේ තැනකදි ඔයා ඕව ගණන් ගන්න එපා. ඔන්න ඔහෙ ඔයාගෙ ඒවත් ගලවන්න."
තම ඇඳුම ගලවා දැමූ ඈ අඟර දඟර පාමින් තම යට ඇඳුම උඩට ඇද දණ ගසා ගත්තා. එය සුන්දර දර්ශනයක්!
"නිකමට හිතන්න."
ඈ රහසින් පැවසුවා.
"මේ වගේ විකාර අද්භූත තැනක ඔයයි මායි තනිවෙලා එකට ඉඳගෙන ඉන්නව. කොච්චර රසවත්ද ! මට මේක කවදාවත් අමතක වෙන්නෙ නෑ."
"සීදේවි!"
ඔහු පැවසුවා. ඔවුන් බොහෝ වේලාවක් සිප වැලඳ ගනිමින් උන්නා.
අර මිනිහා නැවත වරක් හඬ නොනගාම කාමරයට ඇතුළු වුණා. ඔහු මුදු ලෙස යාන්ත්‍රික ලෙස මේසය මත වීදුරු තබා වයින් වත් කළා. මේස ලාම්පුවෙ එළිය ඔහුගෙ මුහුණ මත වැටුණා. මළාක් මෙන් වූ සුදුමැලි බවත් වෙඩි උණ්ඩයක් වැදීමෙන් එක් කම්මුලක හටගත් තුවාලයත් හැරෙන්නට අන් කිසිම විශේෂත්වයක් ඔහු කෙරෙහි දක්නට තිබුණෙ නෑ.
අර කාන්තාව එක් වරම යටිගිරියෙන් කෑ ගහමින් උඩ පැන්නා.
"අපොයි දෙයියනේ ආර්විඩ් ! මේ ඔයාද? අපොයි උඩ ඉන්න දෙයියනේ එයා මැරිලා. එයා වෙඩි තියාගෙන."
මිනිහා ඔහු ඉදිරිපිට ඇස දල්වා ගත් වනම නිශ්චලව බලා උන්නා. ඔහුගේ මුහුණෙන් වේදනාවක් පිළිබිඹු වුණේ නෑ. එහි තිබුණේ දැඩි බැරෑරුම් පෙනුමක් පමණයි.
"ආර්විඩ් ! ඔයා මොනවද මේ කරගත්තෙ ! කොහොමද ඔයාට මෙහෙම දෙයක් කරගන්න පුළුවන් උණේ! අනේ ආර්විඩ් ! මේ වගේ දෙයක් සිද්ධ වෙයි කියලා මට සැක හිතුණ නං මං ගෙදරින් පිට වෙලා
නේන්න තිබුණ. ඒත් ඔයා මට කවදාවත් කිසි දෙයක් කියන්නෙ නෑ. ඔයා මේ ගැන කිසි දෙයක් කවදාවත් කියල නෑ. වචනයක්වත් කියල නෑ. එහෙම කියල නැතිකොට මං කොහොම දැන ගන්නද ! අපොයි දෙයියනේ !"
ඇගේ මුළු සිරුරම සැලෙන්න උණා. මිනිහා අමුත්තෙකු දිහා බලනව වගේ ඇය දෙස බැලුවා. හැඟීමෙන් තොර ඔහුගේ බැල්ම හැම දෙයක් දිහාවටම කෙළින්ම යොමු වුණා. සුදුමැලි මුහුණ දීප්තිමත්ව බැබළුණා. තුවාලෙ ලේ ගැලීමක් නෑ. පේන්න තිබුණෙ සිදුරක් පමණයි.
"අයියෝ ! මේක හරිම භයානකයි ! හරිම භයානකයි ! "
ඈ කෑ ගැහුවා.
"මට මෙහෙ ඉන්න බෑ. අපි ඉක්මනට යමු. මට මේක දරන්න බෑ."
වහා තම ඇඳුම , හිස් වැස්ම හා ලොම් කබාය ඩැහැගත් ඈ කාමරයෙන් එළියට දිව්වා. ස්මිත් ඇය පසුපස ගියා. පඩිපෙළින් පහළට බසින ඔවුන් ලිස්සුවා. ඉන්දවුණු ඇගේ පිටිපස්සෙ කෙළ සහ සිගරට් අළු තැවරුණා. උඩු රැවුලක් ඇති ගැහැනිය කරුණාවන්ත ලෙස , දන්නා හඳුනන ලෙස , සිනාසෙමින්ද තම අං සොලවමින්ද පහළ තට්ටුවේ හිටගෙන උන්නා.
වීදිය පිටතට පැමිණි පසු ඔවුන් තුළ මඳ සන්සුන් ගතියක් ඇති වුණා. තම ඇඳුම් ඇඟ ලා ගත් කාන්තාව හරි බරි ගැහී නාසයේ පියරු තවරා ගත්තා. ඇය රැක ගන්නට මෙන් ඇගේ ඉඟ වටා අතක් යැවූ ස්මිත් කඩා වැටෙන්න ඔන්න මෙන්න කියා තිබුණ කඳුළු බිංදු හාදුවකින් පිස හැරියා. ඔහු එතරම්ම හොඳයි. ඔවුන් චතුරස්‍රය තුළට ගමන් කළා.
යක්ෂ ප්‍රධානියා එහි එහා මෙහා ඇවිදිමින් හිටියා. ඔවුන් නැවතත් ඔහු වෙතට දුව ගියා.
"ඔහෙල බොහොම ඉක්මනින් ඇවිල්ලනෙ."
ඔහු කිව්වා.
"මං හිතන්නෙ ඔහෙලා සුවසේ ඉන්න ඇති."
"අයියෝ ඒක හරිම භයානකයි !" කාන්තාව පැවසුවා.
"නෑ , එහෙම කියන්න එපා. ඔහෙලට ඒක හිතන්න බෑ. ඔහෙල මෙහෙට එන්න තිබුණෙ ඉස්සර. එතකොට මෙහෙ හුඟක් වෙනස්.. අපාය ගැන දැන් කිසිම දෝෂයක් කියන්න බෑ. අපාය අපායක් නොකර ආස්වාද ජනක ස්ථානයක් කරන්නයි අපි අද හැම දෙයක්ම කරන්නෙ."
" ඔව් !"
ස්මිත් මහතා පැවසුවා.
"ඒක ඇත්ත. කොහොම උණත් දැන් අපාය තරමක්වත් මනුස්සකම් තියෙන තැනක් කියල කියන්න ඕන."
"අපොයි ඔව් ! "
යක්ෂයා කිව්වා. අපි හැමදෙයක්ම විය යුතු ආකාරයටම නවීකරණය කරලයි තියෙන්නෙ. සම්පූර්ණයෙන්ම වාගෙ නැවත සකස් කරලයි තියෙන්නෙ."
යක්ෂයා කිව්වා.
"ඔව් ! සත්තකින්ම ඔහෙලත් කාලයත් එක්ක එකට ගමන් කරන්න ඕන."
"ඔව් ! මේ කාලෙ දුක් වේදනා විඳින්නෙ ආත්මය විතරයි. ඒ ගැන දෙවියන්ට ස්තුති වේවා!"
කාන්තාව පැවසුවා.
යක්ෂයා ඉතා ආචාරශීලී ලෙස ඔවුන් විදුලි සෝපානය වෙත කැඳවාගෙන ගියා
"සුබ සැන්දෑවක් වේවා ! "
යක්ෂයා හොඳටම නැමී පැවසුවා
"ආපහු වතාවක් ඔබේ පැමිණීම අපි සාදරයෙන් බලාපොරොත්තු වෙනවා."
ඔවුන් ඇතුළු වූ පසු ඔහු ගරාදි දොර වැසුවා.
විදුලි සෝපානය ඉහළට ගමන් කළා.
"මේක ඉවරයක් වීම ගැන දෙවියන්ට ස්තුති වේවා ! අසුන මත එකිනෙකාට තුරුලු වී ගත් දෙදෙනාම හිත සැහැල්ලු කරගනිමින් පැවසුවා
"ඔයා නොහිටින්න මට මේකෙන් කවදාවත් ගැලවෙන්න හම්බවෙන්නෙ නෑ."
ඈ රහසින් පැවසුවා. ඔහු ඇය තමා වෙතට ඇද ගත්තා. ඔවුන් බොහෝ වේලාවක් සිප වැලඳ ගනිමින් හිටියා.
"හිතල බලන්න."
වැලඳ ගැනීමෙන් අනතුරුව හුස්ම ගත හැකි වූ සැණින් ඈ පැවසුවා.
"එයා මේ වගේ දෙයක් කරගත්ත හැටි ! ඒත් හැමතිස්සෙම එයාට තිබුණෙ ඔය වගේ විකාර කල්පනා තමයි. යමක් ඇති සැටියෙන් සරල විදියට ස්වාභාවික විදියට බාරගන්න එයාට කවදාවත් පුළුවන් උණේ නෑ. හැම තිස්සෙම එයා යමක් දිහා බැලුවෙ ජීවිතයත් මරණයත් අතරෙ පවතින දෙයක් හැටියටයි."
"ඒක හරි විකාරයක්"
ඔහු පැවසුවා
"එයාට මට කියන්න තිබුණනෙ එහෙනම් මට නවතින්න තිබුණා. අද වෙනුවට අපිට වෙන හැන්දෑවක යන්න තිබුණනෙ."
"ඔව් ! සත්තකින්ම !"
ස්මිත් පැවසුවා.
"සත්තකින්ම අපිට එහෙම යන්න තිබුණා."
"ඒත් අනේ , අපි මෙතන ඉඳන් ඒ ගැන නොහිතා ඉම්මු."
තම දෑත් ඔහුගේ ගෙල වටා යවමින් ඈ රහසින් කිව්වා.
"දැන් ඒක ඉවරයිනෙ !"
"ඔව් , පුංචි සීදේවියෙ ! දැන් ඒක ඉවරයි."
ඔහු තම දෑතින් ඇය වෙළා ගත්තා. විදුලි සෝපානය ඉහළට ගමන් කළා.
පරිවර්තනය
කරුණාරත්න අමරසිංහ
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අපායට ගිය පෙම් යුවළ