IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අප්පච්චි

කෙටිකතාව

හෙමි­හිට පිය­වර තබා උසා­වි­යෙන් එළි­යට පැමිණි තිල­ක­සි­රිට කවුදෝ සිය දකු­ණත අල්ලා මිරි­කා­ගනු දැනිණ. හැරී බැලූ විට ඒ තම බිරිය බව හේ දැක්කේය. අඹු සැමි යුවළ කිසි­වක් කතා නොකර, උනුන් දෙස මොහො­තක් බලා සිටි­යහ.

“දැන් හරි නේ. ප්‍රශ්නේ ඉව­රයි.” බිරිය එසේ කී විට තිල­ක­සි­රිට හයි­යෙන් ඉකි­ගැ­සිණ.

“චී! අඬන්න එපා. මිනිස්සු දකියි.” සැමි­යාගේ අත තවත් තදින් මිරිකා ගත් බිරිය කීවාය.

“මෙච්චර දව­සක් මට වඩා ඇඬුවේ ඔයා.” එසේ කී තිල­ක­සිරි බිරි­යගේ අත මෘදු­වට පිරි­මැද සිනා­සිණ.

ඒ සම­ඟම, තමන් වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥයා තමන් වෙත එනු දුටු දෙදෙ­නාම ගොලු වූහ. එතෙක් අල්ලා­ගෙන සිටි සිය සැමි­යාගේ අත ලජ්ජා­වෙන් මුදා­හළ බිරිය තමා වෙත පැමි­ණෙන නීති­ඥ­යාට හිස නමා ආචාර කළ අතර, තිල­ක­සිරි දණ­ගසා වැඳ­වැ­ටුණේ වැඩි­හි­ටි­යකු දුටවා මෙනි.

“ඇයි මේ? මට වඳින්න එපා.”

“වැඳලා මදි සර්. කරේ තියා­ගෙන යන්න හිතෙ­නවා.” වසර කිහි­ප­යක් තිස්සේ මළ මිනි­යක්ව හැසි­රුණු තම සැමි­යාගේ මේ හැසි­රීම ගැන බිරි­යට පැව­තියේ උතුරා යන සතු­ටකි.

“වර­දක් කළ කෙනෙක් සහ වර­දක් නොකළ කෙනෙක් හරි වෙනස්. අපේ රස්සා­වේදී මේ දෙගොල්ල හඳු­නා­ගන්න අපට අප­හසු නැහැ.” එසේ කී නීති­ඥයා නිහඬ විය.

“එදා උසා­වි­යේදී නඩු­කාර උන්නාන්සේ අත්හි­ටුවූ සිර­ද­ඬු­ව­මක් දෙන්න කැමැ­තිද අහන කොට ඔබ­තුමා විරුද්ධ වුණාම මට බය හිතුණා.”

“ඒ මොකද?”

“නොකළ වර­ද­කට ඇයි මට අච්චු කරන්නේ කියලා.”

“ඒක තමයි මම කැමැති නොවුණේ. මට තමුන් නිද­හස් කර ගන්න පුළු­වන් කියලා විශ්වා­ස­යක් තිබුණා. අර ගෑනු ළම­යා­ගෙන් පහළ උසා­වියේ හරස් ප්‍රශ්න අහද්දී ‘තමන්ගේ කාම­රේට ඔය කියන තැන පේන­වාද?’ කියලා ඇහුව නම් එයා කියන්නේ එයාගේ කාමරේ තියෙන්නේ පාර පැත්තෙන් කියලා. ‘ඇයි තමා අයි­යාගේ නිදන කාම­රේට ඇවිත් චුදි­තගේ ගේ දිහා බලා­ගෙන හිටියේ?’ කියලා ඇහු­වාම ඒ දැරිය කිය­නවා ‘ඒක අපේ ගෙදර නේ’ කියලා. එත­කොට අර ගෙදර තමුන්ගේ නෙවෙ­යිද? ඒ දැරි­යට තමන්ගෙ අයි­යාගේ කාම­රේට එන්න තියෙන අයි­තිය, තිල­ක­සි­රිට ගෙදර ඉඳන් ඉකි­ලිය කහන්න නැදද? මම මේ ටික කිය­වලා චෝදනා ඔප්පු කර නැති බව තහ­වුරු කළා. දැන් ගමට ගිහින් කියන්න ‘මං නිද­හස්’ කියලා.” නීති­ඥයා සිනා සෙමින් කීය.

“අනේ ඕනැ නෑ. වැර­දි­කා­රයා වුණාම ලජ්ජා­වෙන් බිම බලා­ගෙන ගියා වාගේම, අද අපි දෙන්නා ගමට යන්නෙත් මොන­වත් නොවුණා වාගේ මහ­ත්තයෝ. වර­දක් නොකළ අපෙ හිත් හොඳයි.”

ඊට කිසි­වක් නොකී නීති­ඥයා දෙදෙ­නා­ටම සුබ පතා යන්නට ගියේය.

“තේ එක­ක්වත් බීලා යමු නේද?” තිල­ක­සිරි කළ යෝජ­නාව ඇසූ බිරිය නැවත සිය සැමි­යාගේ අත අල්ලා­ග­ත්තාය.

“නෑ මහ­ත්තයෝ. ගෙදර ගිහින් මං හදලා දෙන තේ එක බොන්න ඉක්ම­නට ගෙදර යං. අපි කවදා උසා­වි­ය­කට ආව මිනි­ස්සුද? මට මෙතන ඉන්නත් බයයි අනේ.”

වසර ගණ­නා­වක් ගබඩා පාල­ක­යකු හැටි­යට රස්සාව කළ තිල­ක­සිරි සාධා­රණ මිනි­සෙකි. උපන් ප්‍රදේ­ශ­යෙන් පිට වෙන්දේසි කළ ඉඩම් කෑල්ලක් මිලට ගෙන, සිය පවුල සමග පදිංචි වූ හෙතෙම අර­මු­ණක් ඇතිව කළ එකම දේ දරු­වන් දෙදෙ­නාට ඉගැ­න්වීම පම­ණකි. මේ වන විට දුවත් පුතාත් විදේ­ශ­ග­තව රස්සා කරති. සම­හර විට ඔවුන් ආපසු ස්ථිර පදිං­චිය සඳහා ලංකා­වට නොඑ­න්නත් පුළු­වන. මේ කාල­කණ්ණි නඩුව වැටෙන තෙක් තිල­ක­සිරි පවුල කල්පනා කළේ දරු­වන් නැවත තමන් සමඟ ජීවත් වීමට ලංකා­වට පැමි­ණිය යුතුය කියාය. ඉටු වුණා හෝ නොවුණා හෝ ඔවුහු දෙදෙනා ඒ කල්ප­නා­වෙන් දවස් ගත කළහ.

මේ සිද්ධිය සිදු වන විට විදේ­ශ­ග­තව නොසිටි සිය දිය­ණිය විදේ­ශීය විශ්ව­වි­ද්‍යා­ල­යක මෙරට ශාඛා­වක උග­න්ව­මින් සිටි­යාය. විදේ­ශ­ගත වීමට කිසිදු කැමැ­ත්තක් නොදැක්වූ ඇය කඩි­න­මින් විවාහ වී, රස්සා­වක් සොයා­ගෙන විදේ­ශ­ගත වීමට තීර­ණය කළේ මේ සිද්ධි­යට පසුව වුවද, කොයි අව­ස්ථා­වක හෝ ඒ ගැන දිය­ණිය සමඟ කතා නොක­ර­න්නට දෙම­හල්ලෝ වග­බ­ලා­ ගත්හ. දිය­ණිය රට හැර යෑම ගැන විස්සෝ­ප­යෙන් තිල­ක­සිරි කෙඳි­රිගෑ හැම මොහො­ත­කම බිරිය කීවේ ‘අම­තක කරලා දාන්න. තමන්ට තමන් විත­රයි’ කියාය.

උපන් ප්‍රදේ­ශ­යෙන් පිට පළා­තක නුහුරු ජන සමූ­හ­යක් අතර පදිං­චිව සිටි තිල­ක­සිරි තමාගේ වැඩක් බලා­ගෙන සිටියා මිස, කා සම­ඟ­වත් වැඩි පයි­රු­පා­ස­න­යට ගියේ නැත. දෙම­හල් නිවෙ­සක් තනා, ඉඩම වටේට තාප්ප­යක් බැඳ­ගෙන ජීවත් වූ තිල­ක­සි­රිලා සමඟ අස­ල්වැසි ගෙදර උද­විය දොර­ක­ඩට පැමිණ අඬ­ද­බර ක⁣ළහ. මෙසේ ඇදී ගිය ආර­වුල ගැන ලැබුණ පැමි­ණිල්ල පරීක්ෂා කළ ප්‍රාදේ­ශීය සභා බල­ධා­රීන් අඹ ගසේ අත්තක් කපා­දැ­මී­මෙන් අාර­වුල අව­සන් කළද, අස­ල්වැසි පවු­ලට අවශ්‍ය වුණේ අඹ ගස සම්පූ­ර්ණ­යෙන්ම කපා ඉවත් කර­වී­ම­ටය. පරි­සර හිත­කාමි අන්ද­මින් ක්‍රියා කළ නිල­ධා­රීන් අඹ ගස පිහිටි ස්ථානය සහ අස­ල්වැසි නිවෙසේ දුර සැල­කිල්ට ගෙන, ගස කැපී­මට අන­වශ්‍ය බවට තීන්දු කිරීම තම පරා­ජ­යක් හැටි­යට කල්පනා කළ අස­ල්වැසි පවුල, තිල­ක­සි­රිලා සමඟ ඇති කර­ගත් වෛරයේ දිගු­වක් හැටි­යට මේ චෝද­නාව ගොතනු ලැබීය.

අඹ ගසේ ආර­වු­ලෙන් යම් කල­කට පසුව, නිවෙ­සට පැමිණි පොලිස් නිල­ධා­රි­යෙක් පැමි­ණි­ල්ලක් විභාග කිරීම සඳහා පොලී­සි­යට පැමි­ණෙන ලෙස තිල­ක­සි­රිට දන්වා සිටි­යේය. කිසි දිනක වර­දක් කර නැතය යන කල්ප­නා­වෙන් පසු වූ තිල­ක­සිරි ලැබුණ නිය­මය අනුව, වහා පොලී­සි­යට ගොස් පෙනී සිටි­යේය. ළමා හා කාන්තා කාර්යාං­ශ­යට යොමු කළ පසුව ඔහුට දැන­ගන්න ලැබුණේ වසර 14ක දැරි­ය­කට නිර­න්ත­රව පුරුෂ ලිංගය පෙන්නා ලිංගික අත­ව­ර­යක් කරන බවට පැමි­ණි­ල්ලක් ලැබී ඇති බවයි. ඒ මොහොතේ මහා කැර­කි­ල්ලක් හට­ගත් නිසා එත­නම ඉන්ද­වුණ ඔහුට තමා පොලී­සියේ බංකුවේ හිඳ­ගෙන සිටින බව වටහා ගැනී­ම­ටත් යම් කාල­යක් ගත විය. ක්‍රම­යෙන් යථා තත්ව­යට පත් තිල­ක­සි­රිට පොලිස් නිල­ධා­රි­නි­යක් චෝද­නාව පැහැ­දිලි කර දුන්නාය. පැමි­ණිල්ල කර තිබුණේ අස­ල්වැසි නිවැ­සි­යන් විසිනි.

පැමි­ණිල්ල අනුව තිල­ක­සිරි උදෑ­සන ඔහුගේ නිවෙසේ පෝටි­පෝ­වට පැමිණ අස­ල්වැසි ගෙදර උඩු මහලේ ජනේ­ල­යක් අසල සිටි දැරි­යට පුරුෂ නිමිත්ත පෙන්වා ස්වයං වින්ද­නයේ යෙදී ඇත. මේ කියන සිද්ධිය ජංගම දුර­ක­ත­න­ය­කින් රූප­ගත කොට ඇති බවද තිල­ක­සි­රිට පොලී­සිය විසින් දැනුම් දෙනු ලැබීය.

“නෝනා, මටත් දුවෙක් ඉන්නවා. මම එහෙම දෙයක් කරන මිනි­හෙක් කියලා හිත­න­වාද? බලන්න මගේ වයස. අනික අපි කාට­වත් වරදක් නොකර නිද­හසේ ජීවත් වන මිනිස්සු. මේ මොන නින්දා­වක්ද?” ඔහු වහා මතු වූ කෝපය පාල­නය කර­ගත නොහැ­කිව වේග­යෙන් කෑගැ­සීය.

“තමු­සෙගෙ කට වැඩියි! ඕවා උසා­වි­යට කිය­නවා…” එසේ කී පොලිස් නිල­ධා­රි­නිය සිය රාජ­කාරි ආරම්භ කළාය. සුළු මොහො­තක් තුළ තිල­ක­සි­රි­ගෙන් ප්‍රකා­ශ­යක් ගෙන ඔහු අත්අ­ඩං­ගු­වට පත් කර, උසා­වි­යට ඉදි­රි­පත් කොට රිමාන්ඩ් කරනු ලැබීය.

පසු දිනෙක රිමාන්ඩ් හිර ගෙද­රට පැමිණි බිරිය කීවේ දුව මේ සිද්ධිය පුතාට දන්වා ඇති අතර, දරු­වන් දෙදෙනා දැඩි කෝප­යෙන් පසු වන බවයි.

“ඒ විත­රක්ද? ළමයි මටත් කෑග­හ­නවා. අම්මා තාත්තා හරි­යට බලා­ගත්තා නම් ඔහොම වෙන්නේ නෑ කියලා..” තිල­ක­සි­රිගේ බිරිය ඒ ටික කීවේ ඉවත බලා­ග­නෙය.

“දෙයි­යනේ… ඒ මොන ලජ්ජා නැති කතා­වක්ද? ඔයා මාව බලා­ග­න්නවා කියන්නේ පස්සෙන් ඇවිත් මගෙ අතින් අල්ලා­ගෙ­නද? අපි උස් මහත් කරලා හැදුව දරුවෝ අපි ගැන හිත­න්නෙත් එහෙ­මයි නේද?” කී තිල­ක­සිරි මහ­හ­ඬින් හඬා­වැ­ටිණ.

“ඒයි මේ මොකද? මම හැම­දාම කියන්නේ අපිට අපි විත­රයි කියලා. මෙච්චර කල් මම එහෙම කිවුවේ කාට­වත් අත නොපා අපි ජීවත් වෙන්න ඕනැ කියලා හිතා­ගෙන. මටත් දැන් තමයි ඒ කතාව හරි­ය­ටම හරි­යට තේරෙන්නේ: අන්තිමේ අපිට දරු­වොත් නෑ කියලා. ගෙවල් දෙක අතරෙ ආර­වුල අපේ ළමයි හොඳින්ම දන්නවා; අනෙක, ඒ පවුලේ හැටිත් දන්නවා. අපේ ගෙදර පෝටි­පෝවේ හිටිය මාව වීඩියෝ කරලා තියෙන්නේ. මම කාට­වත් පෙන්නපු කෙහෙ­ල්ම­ලක් නෑ. ඕක කරලා තියෙන්නේ මම ඉකි­ළියේ දදේ කහන කොට… මේක අපේ ළමයි තේරුම් ගත්තා නම් මට ඒ ඇති. දැන් ඒකත් නෑ එහෙ­නම්. මට ඔයා­ගෙන් යමක් අහන්න තියෙ­නවා.”

“අහන්න.”

“ඔයා විශ්වාස කර­න­වාද මං එහෙම දෙයක් කළා කියලා…”

ඔහු ඇසූ ප්‍රශ්නය නිසා අන්ද­මන්ද වූ බිරිය මොහො­තක් නිහ­ඬව සිට මෙසේ ඇසු­වාය:

“දෙයි­යනේ… ඇයි මේ? ඔයා එහෙම මිනි­හෙක්ද?”

බිරිය ඉකි නොගැ­සු­වාට ඇයගේ කම්මුල් හරහා කඳුළු ගලා­බ­සිණු දුටු තිල­ක­සිරි මෙසේ කීය:

“මට සමා වෙන්න එහෙම ඇහු­වට. දැන් ඔයා යන්න. එන විදි­යක් බලමු. මේකේ ඉන්න මිනිස්සු නම් කියන්නේ හිරේ යයි කියලා. මොකද, අපට එහෙම කළේ නෑ කිය­නවා ඇරෙන්න වෙන සාක්කි නෑ නේ…”

“වෙන දෙයක් වෙයි. ඔයාට මං ඉන්නවා. පුතා ලංකා­වෙත් නෑ. දුවත් නිතර කතා කරන්නේ නුහු­රට. සමා­ජෙට, යාළු­වන්ට මුහුණ දෙන්නේ කොහො­මද අහ­නවා. එයා බඳින්න ඉන්න ළමයා කීවාලු ‘මරු මාමා!’ කියලා මිනිස්සු හිනා වෙයි කියලා.”

“ඒකත් එහෙ­මද…” තිල­ක­සි­රිට විම­සිණ.

“යාළු­කම් ඇති වෙනවා; නැති වෙනවා. එවුවා ඒගොල්ල බලා­ග­ත්තාවේ. දැන් තියෙන්නෙ අප්පාත් පේන්න බැරි විදි­යක් නේ. මේ අපි හදාපු දරුවො නේද? මට ඒකට නම් හරි කේන්තී. මං ඔයාට ඉන්නවා. බය වෙන්න එපා. අපි නඩු කියමු.”

පසුව තිල­ක­සි­රිට ඇප ලැබිණ. නඩු විභා­ග­යේදී විත්තියේ නීතිඥ මහ­තාගේ උප­දෙස් අනුව තිල­ක­සි­රිත්, ඔහුගේ බිරි­යත් දෙදෙ­නාම සාක්ෂි දුන්හ.

“බය වෙන්න එපා” කියා නීති­ඥයා නිතර තිල­ක­සිරි සන්සුන් කළද අව­සා­නයේ අස­ල්වැසි ගෙද­රට පම­ණක් වැර­දි­ක­රුව සිටි තිල­ක­සිරි, 14 හැවි­රිදි දැරි­ය­කට සිය පුරුෂ ලිංගය පෙන්වූ වල­ත්ත­යකු හැටි­යට ලෝක­ය­ටම තහ­වුරු කළ නඩු තීන්දු­වෙන් දඬු­වම බර­ප­තළ වැඩ සහිත දෑවු­රුදු සිර­ද­ඬු­ව­ම­කට යටත් කෙරිණ. තීන්දු­වට විරු­ද්ධව අභි­යා­ච­න­යක් ඉදි­රි­පත් කළ පසු තිල­ක­සි­රිට ඇප ලැබිණ. මේ අතර කිසිදු උත්ස­ව­ය­කින් තොරව දිය­ණිය, සිය විවා­හය සිදු කිරී­මේදී හැසි­රුණේ මවු­පි­යන් නැතිය යන හැඟී­ම­කින් බව තිල­ක­සිරි යුවළ තේරුම් ගත්හ.

“අම්මා, ෆොටෝ ගන්නේ අපි දෙන්නාගේ විත­රයි. අම්මා විත­රක් පොටෝ එකේ හිටි­යාම අප්පච්චි කෝ කියලා අහ­නවා. අපි කොහො­මද එයා අප්පච්චි කියලා ලෝකෙට පෙන්වන්නේ…” දිය­ණිය කී මේ කතාව තිල­ක­සි­රිට කීවේ ඔහුගේ බිරිය විසිනි.

“වහ ටිකක් බීලා මැරෙන්න හිතෙ­නවා. කමක් නෑ. මේවා පූරුවෙ කරුම වෙන්න ඇති….” තිල­ක­සිරි එසේ කී විට බිරිය ඔහුට රවා බැලු­වාය.

“ඔක්කෝම සංසාරේ කරු­මෙට දාන්න එපා. මේ කරු­ම­ක්කාර දරු­වන් අපට සල­කන හැටි. රජෙක් වාගේ හිටිය අප්ප­ච්චිව කාගේ­වත් කෙන­හි­ලි­ක­මක් නිසා මුන් දෙන්නා පිළි­කුල් කළේ උසා­වි­යෙන් වැර­දි­කා­රයා කර­න්නත් ඉස්සර. ඒක විත­රක් අම­තක කරන්න එපා. මම අම්මෙක්. පුතා මිනී­ම­රලා එල්ලුම් ගස් ගියත් අම්මලා කී දෙනෙක් එල්ලලා මරණ දව­සෙත් හිරගේ ළග ඉඳ­ගෙන විලාප දීලා තියෙ­න­වාද? මුන්ට දරු­මල්ලෝ ඇති වෙච්ච කාලෙක අපේ අගේ දැනෙයි.”

“මට දැන් මේ කිසි දෙයක් දැනෙන්නේ නෑ. නඩු­වෙන් නිද­හස් කීවාම දැනුණ සතුට මට මැරෙන කල් තියෙයි.”

“හැබෑට, ඇයි මේ නඩුව අහපු නඩු­කාර උන්නා­න්සෙට තිබුණ දැනුම මුල් නඩුවේ එක්කෙ­නාට තිබුණෙ නැත්තේ… ”

“ඒකත් මගෙ කරුමේ…”

“ඔන්න ආයෙත් පටන් ගත්තා… ඔක්කොම කරු­මෙට දාලා වරද තමන්ට පව­රා­ගන්න එපා. හිතට එක­ඟව ජීවත් වෙනවා නම් අපට සතු­ටින් ඉන්න පුළු­වන්. එච්ච­රයි මම දන්නේ. අපෙ කාල­කණ්ණි දෙන්නාට ඔයා ඉස්සර නම් රජෙක්. දැන් ගෙද­රට කන්න එන බල්ලෙක් ගානයි කියලා මට හිතෙන්නේ එක කවි­යක තිබුණා ‘කන්දක් වෙලා කෙන්දක් වැනි අප්පච්චී’ කියලා. ඔයා කාට එපා වුණත් තමන් කන්දක් කියලා හිතන්න පුරුදු වෙන්න.”

එසේ කී බිරිය තිල­ක­සි­රිට ගෙනා තේ කෝප්පය සීතල වී ඇති බව තේරුම් ගෙන යළි රත් කිරී­මට මුළු­තැ­න්ගෙට ගියාය.

 



අදහස් (0)

අප්පච්චි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 527 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 479 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 419 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site