සුභඵල ගෙනෙන පසුබිමක්

මේෂ ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති කුජ හා යෝගකාරක ග්‍රහයින් මෙම මස තුළ හැසිරෙන ආකාරය සමග සසඳා බැලීමේ දී ඔබගේ අධ්‍යාපන, ධනය, දේපොළ කෙරෙන් සුබදායී ප්‍රතිඵලදායී ප්‍රගතියට හේතූවන කාර්යයන් රැසක් මෙම මස තූළ සිදුවන්නේය.

ගෘහජීවිතයේ කාර්යය කටයුතූ මෙන්ම ආදර සබඳතා මෙන්ම විවාහ දිවියේ කටයුතු හා හවුල් කටයුතු වැනිදේවල් කෙරෙන් ද යහපත් පසුබිමක් ගොඩනැගේ. ඒවායේ  කටයුතු මෙන්ම අරමුණු සැලසුම්වලට බලපෑ විවිධ අවහිර බාධා ප්‍රශ්නකාරී ස්වභාවයන් පහවයෑම සිදුවේ.

එසේම මෙම අගෝස්තූ මස තුළ දී ඔබ ඉගෙනීම් කටයුතුවලට වැඩි වශයෙන් යොමුවීමට හේතුවේ. එසේම මෙහිදී ඔබ ඉගෙන ගන්නා ප්‍රමාණයට වැඩියෙන් ඔබේ ඥානය ද වර්ධනය වෙයි. පාසැල් හා වෘත්තීය අධ්‍යාපන කටයුතු කෙරෙන් උද්යෝගය උනන්දුව කැපී පෙනෙන මාසයකි.

ධන - අය භාවාධිපතින් සුභ භාවගතව ගමන් කරන නිසා ඔබට ගත වූ මාසයට වඩා මෙම මාසය තුළ දී ආර්ථිකමය සහ දේපොළමය වශයෙන් යම් යම් ලාභ ප්‍රයෝජන සැලසෙනු ඇත. උරුම හිමිකම් ප්‍රශ්න විසඳේ. ණය ගනුදෙනු වලින් නිදහස් වීමටත් හැකිවේ. ආයෝජනවලට අවශ්‍ය මුදල් ලැබෙන මාසයක් ද බැවින් එවැනි දෙයට අතගැසීම ඵලදායක වේ. ඉපැයීම් කටයුතු කෙරෙන් යහපත් වන්නේය. එසේම ආදායම් තත්ත්වයේ ක්‍රමවත් ප්‍රගතියක් පෙන්නුම් කරයි. දේපොළමය වැඩිදියුණුවක්ද සලසා ගත හැකි වුවත්, අවසන් සති දෙකේ දී උරුම හිමිකම් දේපොළ ආදී කාර්යයක් සම්බන්ධ ලාභ ප්‍රයෝජනයකට වාසිසහගත තත්ත්වයකට කටයුතූ පිළියෙළ වේ.

විශේෂයෙන් මෙම අගෝස්තු මාසය පුරාවටම ඔබගේ ජීවනෝපාය මාර්ගයන්ට හා තම වෘත්තියට අවහිර බාධාවන් ඇති නොවේ. එමෙන්ම ඔබට මෙම මස තුළ දී මිල මුදල් හා දේපොළමය ලාභ ප්‍රයෝජනයන්ට බලයක් ගොඩනැගේ. තැන්පත් ධනයට යමක් එකතු කර ගත හැක.නිවසට ආයතනයට යම් යම් දේ ම්ලදි ගන්නා මාසයකි.

 

සන්සුන්ව කටයුතු කරන්න

වෘෂභ ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති සිකුරු හා යෝගකාරක ග්‍රහයන් මෙම මස තුළ හැසිරෙන ආකාරය කෙරේ සසඳා බැලීමේ දී ඔබගේ ධනය, දේපොළ කෙරෙන් සුබදායී ප්‍රතිඵලදායී දේ රැසක් සිදුවෙයි.

එබැවින් මෙම මාසය තුළ දී ඔබගේ ආදායම් තත්ත්වයේ ප්‍රගතියක් පෙන්නුම් කරයි. විකිණීම්, මිලයට ගැනීම් ආදියෙන් ලාභ ප්‍රයෝජන සැලසේ. හදිසි ධන ලාභාදිය වුවත් ලැබීමටද ඉඩ ඇත. ණය ගනුදෙනු අපේක්‍ෂාවන් ඉෂ්ඨ සිද්ධවීම සිදුවේ. උරුම හිමිකම් ප්‍රශ්න, බදු ප්‍රශ්න යනාදිය විසඳේ.

එසේම ඔබට මෙම මස තුළ ආර්ථික හා දේපොළමය වශයෙන් යම් යම් ලාභ ප්‍රයෝජනයන් සැලසෙනු ඇතත්, විශේෂයෙන් ඔබ මෙම මාසයේ දී ඉඩකඩම් යානවාහන මෙන්ම දේපොළ ආදියට මිලමුදල් යොදවමින් ආදායමක් උපදවා ගන්නේ නම් ඒ සඳහා ඔබට අත්උදව් කරන අයගැන අවධානයෙන් කටයුතු කරන්න. තමාට අයකර ගැනීමට තිබූ හිඟ මුදල්, දිරි දීමනා ලැබේ. තැන්පත් ධනයට යමක් එකතු කරගත හැකි මාසයකි. ණය ගනු දෙනුවකින් ද නිදහස් විමටත් හැකිවේ. ආර්ථික හා දේපොළවලට අදාල අඩපණ තත්ත්වයේ පැවති වැඩ කොටස් ස්ථාවරභාවයට පත්වේ. උනන්දුවෙන් කටයුතු කළහොත් මේවාට සම්බන්ධ අරමුණු සැලසුම් සිතැඟි පරිදි ඉටුකර ගැනීමටත් හැකිවේ. එනමුදු ඔබ මෙම මාසය තුළ සතුරු කරදර කෙරේ සැලකිළමත් වන්න.

සමස්තයක් වශයෙන් බලන කළ මෙම මස තුළ දී ඔබගේ ආදර සබඳතා හා විවාහ දිවියට අදාළ අරමුණු සැලසුම් පහසුවෙන් බාධාවකින් තොරව ඉටුකර ගැනීමට හැකිවේ. රාජකාරී ස්ථානය, විනෝද ගමන්, ප්‍රීති උත්සව යන දෑ මුල්කොට විරුද්ධ ලිංගිකයින් සමග නව ආදර සබඳතා ගොඩනැගීමක් සිදුවෙයි. ආදර සබඳතා හා විවාහ යෝජනාදිය මෙන්ම යුගදිවි කටයුතු වලට බලපාන, අවහිර බාධා කෙරේ ද අවධානයෙන් පසුවන්න. එසේම මීට අදාල කටයුතු වලදී ද ඔබ හදිසියට කලබලයට කටයුතු නොකරන්න. පපුවේ වේදනා කැක්කුම් වැනි අසනීප ගති හටගනී.

 

හැඟීම් පාලනය කරගන්න

ඔබගේ ලග්නාධිපති බුද හා යෝගකාරක සිකුරු මෙම මස තුළ හැසිරෙන ආකාරය කෙරේ සසඳා බැලීමේදී ඔබගේ ධනය, දේපොළ රැකියාව කෙරෙන් සුබදායී ප්‍රතිඵලදායී දේ රැසක් සිදුවුවත් ආදර සබඳතා කෙරෙන් මෙන්ම යුගදිවියේ ගැටලු ප්‍රශ්න මතුවන්නේය.

අඩපණව පැවති ඔබගේ ඉපැයීම් මාර්ග ශක්තිමත් කරගත හැකි වන්නේය. අමතර ආදායම් මාර්ගයක් ද සලසා ගැනීමට අවස්ථාව උදාවේ. පොදුවේ අතට මිල මුදල් ලැබෙන වැඩපිළිවෙළක් සැකසෙන අතර බොහෝදුරට ප්‍රධාන මූල්‍ය අවශ්‍යතා රැසක් ඉටුකර ගැනීමට ද ඉඩ ප්‍රස්ථා සැලසේ. පොදුවේ ඔබට මෙම මාසය තුළ ඉපැයීම් මාර්ග ශක්තිමත් කර ගැනීමට හැකිවන්නේය.

විරැකියාවට කෙටි කාලීනව පිළියමක් ලැබේ. මෙම මස අවසන් සති දෙකෙදී හවුල් කටයුතු ව්‍යාපාරයන්ට ප්‍රශ්නකාරී දෑ මතුවුවත් අවබෝධයෙන් කටයුතු කළහොත් අභියෝග ජයගත හැක. කෙසේ නමුත් මුල් සති දෙකේ දී ආයතනය තුළ නිලතල හා අමතර වගකීම් ද ඔබ වෙත පැවරෙන යමක් සිදුවේ. ගතවූ මාසයට සාපේක්ෂව රැකියා ව්‍යාපාරික කටයුතු හොඳින් කෙරෙන මාසයකි. නව රැකියා අවස්ථාවකටත් පසුබිම සැකසේ. විදෙස් රැකියා අපේක්‍ෂා ඉටුකර ගත හැක. තම ව්‍යාපාරාදියේ අත්‍යාවශ්‍ය කාර්යයන් මෙන්ම ප්‍රමාද වු වැඩ කොටස් සාර්ථක කර ගැනීමටත් අවස්ථාව සැලසෙන්නේය. රැකියා ස්ථිර තහවුරු වන මාසයකි. තනතුරු නිලතල වරප්‍රසාද පවා ලැබෙනු ඇත.

ඔබට මෙම මාසය තුළ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් යහපත් නොවන අතර මීට අදාළ කටයුතුවලදී හොඳින් සොයාබලා තීරණ ගන්න. ප්‍රේම සබඳතා, විරුද්ධ ලිංගික ඇසුර පහසුවෙන් ගොඩනැගෙන මාසයක් වුවත්, ඔබ නොසොයා නොබලා හදිසි තීන්දු තීරණ ගෙන ක්‍රියා කරන්නට යෑමෙන් අනවශ්‍ය මෙන්ම අනපේක්‍ෂිත ප්‍රශ්නයන්ට ලක්වීමට ඉඩ ඇත. විශේෂයෙන් ඔබ හැඟීම් පාලනය කර ගනිමින් හැසිරිය යුතුයි.

 

පීඩාකාරී සිතුවිලිවලින් මිදෙන්න

කටක ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති හා යෝගකාරක ග්‍රහයින් මෙම මස තුළ හැසිරෙන ආකාරය කෙරේ සසඳා බැලීමේ දී ඔබගේ අධ්‍යාපන, ධනය, දේපොළ කෙරෙන් සුබදායී ප්‍රතිඵලදායී ප්‍රගතියට හේතුවන කාර්යයන් රැසක් මෙම මස තුළ සිදුවන්නේය. කෙසේ නමුත් ඔබ මෙම මස තුළ මුහුණට හෝ ඇස්වලට සිදුවියහැකි තුවාල හෝ අනතුරු කෙරෙහිත් ආරක්ෂාකාරීව කටයුතු කරන්න.

ඔබට මෙම මස තුළ කලකින් හමුනොවූ නෑදෑ හිතවතුන් සමග නැවතත් ඇසුර ඇති වේ. අධ්‍යාපන කටයුතු පහසුවෙන් කරගෙන යාමට අවශ්‍ය දෑ ලැබේ. ඉපැයීම් කටයුතු උනන්දුවෙන් හා කැපවීමෙන් කර ගැනීමට හැකිවන අතර, ඒවායේ වැඩි දියුණුවක් ඇති වන්නේය. ඉතා සතුටුදායක පරිසරයක කටයුතු කිරීමට ඉඩ ලැබෙන මාසයකි. ප්‍රිය සම්භාෂණ උත්සව ආදියටත් සහභාගි වීමටත් අවස්ථාව උදාවේ. මිල මුදල් ලාභ ලැබේ. තම වැඩ කටයුතුවලට හිතවතුන්ගේ උදව් උපකාර ලබා ගැනීමටත් හැකි වේ. ඒත් සමගම ඔබ මෙහිදී තමා ඇසුරු කරන විරුද්ධ ලිංගිකයා සමග හෝ පවුලේ සමගිය හා අන්‍යොන්‍ය බැඳීම වැඩිදියුණු වන දෑ සිදුකරගන්න. නැතහොත් ඒවායේ ගැටළු මතුකරයි. පොදුවේ මෙම මස තුළ සැලසුම් කළ පරිදි කාර්යයන් කෙරෙනු ඇත.

එසේම මනසට පීඩාකාරී සිතුවිලි ඇති කරන බවක් පෙන්වයි. ඒ අතරට තීරණ කිහිපයක් ද කල් දැමීමට හෝ වෙනස් කිරීමටත් සිදුවේ. තමාගේ වැඩ අතපසු කර අනුන්ගේ වැඩට වෙහෙසෙන්නට සිදුවන මාසයක් ද වන නිසා පවුලේ හෝ හිතවතකු වෙනුවෙන් හදිසි මුදල් වැයවීමකට කරුණක් යෙදේ. ආර්ථික ලාභ ලැබුණත් නිකරුණේ කෙරෙන වියදම් ද වැඩිවන මාසක් බැවින් සකසුරුවමින් කටයුතු කරන්න.

 

දූරදර්ශීව ක්‍රියා කරන්න

සිංහ ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති රවි හා යෝගකාරක කුජ-සිකුරු මෙම මස තුළ හැසිරෙන ආකාරය කෙරේ සසඳා බැලීමේදී මෙම මස මුල්සති දෙක තුළ ඔබගේ ධනය, දේපොළ කෙරෙන් මෙන්ම ආදර සබඳතා හා යුගදිවියේ කටයුතූ ක්‍රියා කෙරෙන් ගැටලු ප්‍රශ්න මතූවන්නේය.

එබැවින් මෙම මාසය තුළ ඔබගේ ආර්ථිකය වර්ධනය කරගැනීමට ගන්නා උත්සාහයන්ට මෙන්ම සැලසුම් වලට විවිධ අවහිර බාධාවන් පැනනගී. ගනුදෙනුවලින් නොසිතූ ගැටලු ප්‍රශ්න පැනනගි. යටපත්ව පැවති හිමිකම් හා අයිතිවාසිකම් කෙරෙන් ද අර්බුද මතූවේ. එසේම විනෝදයට බරව කටයුතු කරන්නට යෑමෙන් නිෂ්ප්‍රයෝජන හා අධික වියදම්ද යෙදෙන අවස්ථා ගොඩනැගේ. පොදුවේ තැන්පත් ධනය පවා වියදම් වී යන කරුණු හටගනී. ගතවූ මාසයට සාපේක්‍ෂව ඔබට මෙම මස තුළ දී ආර්ථික අමාරුකම් මතුවන හෙයින් වියදම් සීමාකර ගන්න. අලෙවි කර ගැනීමට අපේක්ෂා කරන නිශ්චල චංචල දේපොළක් අඩුමුදලකට අලෙවියට ඉඩ සැකසෙන නිසා එවැනි දේට නතු නොවී ඒවා පසුවට කල්දාගන්න.

මෙම මස තුළ ඔබේ කේන්දර සටහනේ රවි-කේතු ගමන් කරන ආකාරය එතරම් යහපත් නොවන නිසා ඔබගේ ආදර සබඳතාවලට හා යුගදිවියේ කටයුතුවලට යම් යම් බාධා අවහිර ඇතිවන්නේය. විවාහ යෝජනාවක් හෝ ප්‍රේමදිවියේ පොරොන්දුවක් ද වෙනස්වීමට ඉඩ ඇත. හොර රහසේ යම් යම් සබඳතාවන් පවත්වන්නට යෑමෙන් අපවාද චෝදනාවලට ලක්වීමටත් ඉඩ පවතින බැවින් ඒවායින් මිදෙන්න. රහස් ගමන් යෑමෙන් ද වළකින්න. පොදුවේ ප්‍රේමදිවියේ හා විවාහ දිවියේ ප්‍රශ්න ඇතිනොකර ගැනීමට සැලකිලිමත් විය යුතු මාසයකි. එමෙන්ම ඔබගේ ආදර සබඳතා හා විවාහයට අදාළ කටයුතු කෙරෙන් සිතට සතුට දනවන දෑ සිදුනොවේ.

සමස්තයක් වශයෙන් බලන කල කුජගේ බලවත් ගමන මුල් කොට සැලසුම් කළ පරිදි දෛනික කාර්යය කටයුතු ක්‍රමවත්ව කරගෙන යාමටත් මෙම මාසයේ වෘෂභ ලග්නයෙන් උපන් අයට අවස්ථාව සැලසෙනු ඇත. මෙම මස අවසන් සති දෙක ඉගෙනීමේ කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකිවන්නේය. සිතේ සහනයෙන් ක්‍රියාශීලීත්වයෙන් පොතේ පතේ කටයුතු කරගෙන යාමටත් එමෙන්ම හැකිවන්නේය.

 

කුසලතාවට නිසිතැන

කන්‍යා ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති බුද හා යෝගකාරක ග්‍රහයන් මෙම මස තුළ හැසිරෙන ආකාරය කෙරේ සසඳා බැලීමේදී ඔබගේ ධනය, දේපොළ රැකියාව කෙරෙන් සුබදායී ප්‍රතිඵලදායී දේ රැසක් සිදුවුවත් ආදර සබඳතා හා යුගදිවියේ කටයුතු කෙරෙන් ගැටලු ප්‍රශ්න මතූවන්නේය. නීතිමය ප්‍රශ්නයන්ට මැදිවන දේවල් සිදුවන බැවින් එවැනි තත්ත්වයන්ට ලක්නොවීමට ඥාණාන්විත වන්න. මෙම මස අවසන් දින15දී රහස් සතුරු කුමන්ත්‍රණයක් හේතුකොටගෙන නොකල වරදකට අපවාද චෝදනා අසන්ට වන සිද්ධියකට මුහුණපාන්ට වුව සිදුවන බැවින් අනවශ්‍ය අය ඇසුරු නොකිරීමට වගබලා ගන්න.

ගනුදෙනු කටයුතු හා ඉපැයීම් මාර්ගයන් හි ගැටළු ඇති නොවනු ඇත. ඔබට එතරම් මුදල් ලාභ නොලැබෙන බවක් අන්‍යයන්ට පෙනුණත් අන්‍යයන්ට පැහැදිලිව නොපෙනෙන මාර්ගවලින් යම් යම් මුදල් ලාභ හිමිවේ. එමෙන්ම ආදායමෙහි හා ධනය දේපොළ කෙරෙන් සැලකියයුතු වර්ධනයක් ගොඩනැගේ. වියදම් පක්‍ෂය නිසි කළමනාකරණයකින් කරයි. හදිසි මිල මුදල් ලාභ හිමිවීමේ බලයක්ද පවතින බැවින් ලොතරැයි වැනි දේ මිලදී ගැනීමත් යෙහෙකි.

ආර්ථිකයේ වැඩිදියුණුවට කටයුතු සිදුවේ. ලාභ අපේක්‍ෂාවෙන් කරන ඉපැයීම් හා ගනුදෙනු වලින් වාසි ප්‍රයෝජන අත්පත් වන්නේය. ආදායම් වැඩිදියුණුවක් සැලසෙන මාසයකි. නිශ්චල චංචල දේපොළ ලාභ උපයා සපයා ගැනීමටත් මෙම මස තුළ ඔබට පිළිවන්කම ලැබේ.

මෙම මස තුළ ඔබගේ රැකියා ව්‍යාපාර කටයුතු දැඩි පීඩාවකින් තොරව සාමාන්‍ය තත්ත්වකින් කෙරෙනු ඇත. අන්‍යයන් යටතේ රැකියා ව්‍යාපාරවල නිරත වන කන්‍යා ලග්න හිමියන්ට තරමක සිත්තැවුල් මතු කළත් ස්වයං ව්‍යාපාර ආදියේ නිරත වන්නන්ට ඒවායේ වැඩි දියුණුවක් සැලසේ. පොදුවේ බලන කල අගෝස්තු මුල්සති දෙක තම රැකියා ව්‍යාපාරවල සැලකියයුතු දියුණුවක් ඇතිවන්නේය. මෙම කාලය තුළ උත්සාහ ගතහොත් විරැකියාවට පිළියම් සපයාගත හැක. දැනුමට කුසලතාවයට නිසි තැන ලැබේ.

 

ආදායම් කටයුතු සාර්ථකවේ

තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු හා ලග්න නක්‍ෂස්ත්‍රාධිපතීන් ද මෙම මස තුළ හැසිරෙන ආකාරය කෙරේ සසඳා බැලීමේදී ඔබගේ ධනය, දේපොළ රැකියාව කෙරෙන් සුබදායී ප්‍රතිඵලදායී දේ රැසක් සිදුවනු ඇත. සෙසු කාර්යය කටයුතුවලට එතරම් යහපත් වටපිටාවක් පෙන්නුම් නොකරයි. ඒවා අතර ගෘහජීවිතයේ කාර්යය කටයුතුත් අධ්‍යාපන මෙන්ම ආදර සබඳතා වගේම විවාහ දිවියේ කාර්යයන් හා හවුල් කටයුතූ වැනිදේවල් කෙරෙන් එතරම් යහපත් පසුබිමක් ඇතිනොවේ. ඒවායේ කාර්යය කටයුතු මෙන්ම අරමුණු සැලසුම් විවිධ අවහිර බාධා ප්‍රශ්නකාරී ස්වභාවයන් මධ්‍යයේ කරගෙන යාමට සිදුවේ.

ධන - අය භාවාධිපතීන් සුබදායක අයුරින් හැසිරෙන නිසා සැලසුම් කළ ආදායම් කටයුතු සාර්ථක වන්නේය.උරුම හිමිකම් සම්බන්ධ ගැටලු මතු කළත් ඉපැයීම් මාර්ග ශක්තිමත් කරගත හැක.අලෙවිකර ගැනීමට අපහසු දෙයක් අලෙවියට මග පෑදේ. විකිණීම් මිලයට ගැනීම්වලින් යම් යම් ලාභ ලැබේ.

මූල්‍ය ක්ෂේත්‍රයේ බලපෑ ප්‍රශ්න ගැටලු රැසක් නිරාකරණය වනු ඇත. ක්‍රමානුකූලව වැඩි මහන්සියක් නැතිව ආදායම් ලැබෙන විදියට කටයුතු පිළියෙළ වේ. ආදායම අඩු වැඩි වූවාට හිත ස්ථිරව තබා ගෙන දෛනික කටයුතුවල නිරත වීමට හැක. බොහෝ විට උරුම හිමිකම් අයිතිවාසිකම් වැනි දෑ ඔබට මෙම මාසය තුළ හිමිවේ. නිවසේ අලුත් වැඩියාවක් වැනි දෙයක් සිදුවේ.

ගත වූ මාසයට වඩා උනන්දුවෙන් උද්යෝගයෙන් රැකියා හා ව්‍යාපාරික කටයුතුවල නිරත වීමට හැකියාව ලැබේ. රැකියාව කෙරේ උනන්දුව වැඩිවීම නිසා රාජකාරිය ගැන උසස් දැනුමක් ලැබීමටත් හැකි වන්නේය. තනතුරු නිලතල ආදී අපේක්ෂා බාධාවකින් තොරව ඉටුවනු ඇත. විශේෂයෙන් තරග විභාග සම්මුඛ පරීක්ෂණාදියටත් කැඳවීම් ලිපි ලැබේ. කුමන අයුරින් හෝ විරැකියාවට පිළියමක් ලබාගත හැක. ව්‍යාපාරික හා රාජකාරි ස්ථානයන්ට අදාළව බලපෑ අසහනදායී වටපිටාව පහව යයි.

 

රෝගාබාධ ගැන සැලකිලිමත් වන්න

වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුජ හා යෝගකාරක  රවි-ගුරු මෙම මස තුළ හැසිරෙන ආකාරය කෙරේ සසඳා බැලීමේදී ඔබගේ ධනය, දේපොළ රැකියාව කෙරෙන් සුබදායී ප්‍රතිඵලදායී දේ රැසක් සිදුවනු ඇත.

එබැවින් ඔබට මෙම මාසය තුළ කරදර හිංසා පීඩා ආදියෙන් නිදහස ලැබේ. අනුන්ට යටත් නැතිව තම තනි මතයටම ක්‍රියා කරන්ට සිතෙයි. සිත් සතුටට කරුණු සැලසේ. මුදල් ලාභ ලැබේ. ගෙදරට අවශ්‍ය බඩු ලැබේ. ඒවා මිලදී ගැනීමට ඉඩ ලැබේ. තඹ, පිත්තල, යකඩ ආදී බඩු ලැබේ. උගත් අයගේ ආශ්‍රයෙන් ඈත් වේ. යම් යම් ලාභ ප්‍රයෝජන ලැබෙන මාසයකි.

එසේම ඔබට මෙම මස තුළ අනපේක්ෂිත ආර්ථික හා දේපොළමය ලාභ හිමිවෙයි. විකිණීම් මිලයට ගැනීම් වලදීත්, යම් යම් අය සමග කරන ගනුදෙනු වලදීත් ලාභ ලැබේ. එහෙත් ප්‍රශ්නකාරී දෙයට නතුවීමටත් ඉඩ තිබෙන නිසා අවිශ්වාස අය සමග කටයුතු නොකරන්න. ඔබ කැපවීමෙන් වැඩ කොට, රාජකාරියේ දී අන්‍යයන් අතර දක්‍ෂතා පෙන්නුම් කර ඊට නිසි වටිනාකමක් ප්‍රධානීන්ගෙන් ලබාගනී. එසේම මෙම මාසය තුළ රැකියා ව්‍යාපාරවල එක්තරා පැතිකඩක් සාර්ථක වී සහනදායී වාතාවරණයක් සැකසේ. නව රැකියා උදෙසා තරග විභාගාදියට පෙනී සිටීමටත් අවස්ථාව සැලසේ.

මෙවැනි සුබපල මධ්‍යයේම ලග්නාධිපති කුජගේ ගමන පරිදි සතුරු පීඩාවකින් බිය ඇතිවිය හැකියි. අධික වියදම් ඇතිවෙත්. සිත්තැවුල්, කරදර, කණගාටු මෙන්ම ඇතැම් බලාපොරොත්තු කඩවීම් ඇතිවෙයි. උණ, තුවාල, ලේ හිඟවීම, ලේ විෂවීම, ලේ ගැලීම, මගතොට අනතුරු, සීරීම් වැනි තුවාල, උගුරේ ආබාධ, ආයුධවලින් තුවාල අනතුරු ආදී හදිසිපීඩා හෝ අර්ශස් ආබාධ ගතියක් පවා ඇතිවන නිසා ඒවා කෙරෙහිත් අවධාණයෙන් දෛනික වැඩවල යෙදෙන්න.

 

අනවශ්‍ය ගැටුම්වලට මැදි නොවන්න

ඔබගේ ලග්නාධිපති ගුරු හා යෝගකාරක රවි බුධ මෙම මස තුළ හැසිරෙන ආකාරය කෙරේ සසඳා බැලීමේදී ඔබගේ ආදර සබඳතා හා යුගදිවියේ කටයුතු ක්‍රියා කෙරේ මෙන්ම මූල්‍ය ගැටලු රැකියා ප්‍රශ්න මතූවන්නේය. එසේම ශරීර සනීපයත් දුර්වල කරන අතර සැඟව පැවති අසනීප මතූවෙයි.

ආර්ථිකයමය හා දේපොළමය කෙරෙන් එතරම් යහපතක් වැඩිදියුණුවක් පෙන්නුම් නොකරයි. එසේම මෙම මස මුල් සති දෙක තුළදී නිෂ්ප්‍රයෝජන හා අනවශ්‍ය වියදම් බහුල වේ. ගනුදෙනු හා මුදල් පරිහරණයේදී බෙහෙවින් සැලකිලිමත්වන්න. විකිණීම්, මිලයට ගැනීම් ආදියෙන් ද යම් යම් අලාභ පාඩු ගෙනදේ. ණය ගනුදෙනු බලාපොරොත්තු ද මෙහිදී ඉටුකර ගැනීම අපහසුවනු ඇත. එබැවින් එවැනි කටයුතුවලදී හොඳින් සොයාබලා කටයුතූ කරන්න. රැකියා හා ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් යහපත් පසුබිමක් ගොඩනොනැගෙනු ඇත. නිරත රැකියා ව්‍යාපාරයන්හි ඉදිරි ගමනට බාධා පැනනගී. ආයතන තුළ ඔබට රහස් සතුරු කරදර මතුවෙයි. නව ආයෝජනයකට සම්බන්ධවීමට උචිත කාලයක් නොවන්නේය. තරග විභාග සම්මුඛ පරීක්ෂණාදියෙන් අපේක්ෂිත ප්‍රතිඵල ඇතිනොවේ. මුල් සති දෙක අවහිරතා බාධා ප්‍රමාදවීම් මධ්‍යයේ සිය කාර්යය කටයුතු කරගැනීමට සිදුවන බැවින් එහිදී මෙම අයහපත් ඵල කෙරෙන් වැඩි අවධානයෙන් කටයුතු කරන්න.

රාජකාරියට හෝ ව්‍යාපාරයට අදාළ විදේශ ගමනක් යෙදීමේ ඉඩ ප්‍රස්ථා ඇතත් ඉන් සාර්ථක ප්‍රතිඵල අත්නොවේ. අමතර වගකීම් මෙන්ම යම් යම් දඬුවම් පවා ආයතන තුළින් ඔබ වෙත ලබාදීමට ඉඩ පවතින නිසා එවැනි දෙයට ලක්නොවන පරිදි තම රාජකාරී වගකීම් කිරීමට සැලකිලිමත් වන්න.

මෙම මස මුල් සති දෙකේ දී ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් සතුට සැනසුම පහවයන දෑ සිදුවෙයි. එසේම මේවායේ ඇති කරන යම් යම් ප්‍රශ්නකාරී දෑ කෙරේ සැලකිල්ලෙන් විමසිල්ලෙන් පසුවන්න.ඇසුරු කරන විරුද්ධ ලිංගිකයා සමග අනවශ්‍ය ගැටුම් ඇති නොකර ගැනීමට සැලකිලිමත්වන්න.

 

ඥානාන්විතව පැසසුම් ලබන්න

මකර ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති ශනි හා යෝගකාරක සිකුරු, මෙම මස තුළ හැසිරෙන ආකාරය කෙරේ සසඳා බැලීමේදී නොසැළකිලිමත් කම හා හදිසිය මෙන්ම අනාරක්ෂිත හැසිරීම මත ඔබගේ ආදර සබඳතා හා යුගදිවියේ කටයුතු ක්‍රියා කෙරෙන් මෙන්ම ගනුදෙනු ආදියේ ප්‍රශ්න මතූවන්නේය.

ඔබගේ කර්මස්ථානාධිපතිගේ ගමන මත සසඳා බලන විට ඔබට සිත කය දෙකම එකසේ වෙහෙසා තම රැකියා ව්‍යාපාරයන්හි නිරතවීමට අවස්ථාව සැලසුණත් රාජකාරි ස්ථානය තුළත් ව්‍යාපාරික කටයුතුවලටත් රහස් සතුරු කරදර බාහිර විවිධ ප්‍රශ්නකාරී දෑ ඇතිවන බැවින් අවධානයෙන් පසුවන්න. ස්වයං හා හවුල් ව්‍යාපාරික කටයුතු කෙරෙන් ද ප්‍රගතියක් පෙන්නුම් නොකරන අතර විටෙක යෙදෙන අනවශ්‍ය ගමන් බිමන් හේතුවෙන් වැඩකටයුතු කලට වේලාවට කිරීම අසීරුවේ. මෙම මාසයේ දී ඔබ තම රැකියා - ව්‍යාපාරික කටයුතුවලට අදාළ කාර්යයන්හි කැපී පෙනෙන වෙනස්කම් රාශියක් අනාගත ශුභ සිද්ධිය උදෙසා කිරීමට සැළසුම් කලත් ඒවා එතරම් දුරට සාර්ථක නොවනු ඇත. ස්වයං රැකියා ව්‍යාපාරයන්හි නිරත වන මකර ලග්න හිමියන්ට ඒ කෙරෙන් තෘප්තිමත් විය හැකි විශේෂිත වැඩ කොටසක් ද පිළියෙළ නොවේ. උනන්දුවෙන් කැපවීමෙන් රාජකාරියේ යෙදී ප්‍රධානීන්ගේ පැසසුම් ලබාගැනීමට හිත දිනාගැනීමට ඥානාන්විත වන්න.

පොදුවේ ඔබට මෙම මාසය ශරීර පීඩාව සහ වෙහෙස ගති ඇතිවේ. අප්‍රියයන් සමග ආශ්‍රය ඇතිවේ. බලාපොරොත්තු නොවූ අයගේ ආශ්‍රයට වැටේ. සිතට සැකබිය ඇති වේ. ඥාතීන් හා වරෙක පවුලේ අය නිසා දුක් විඳීමට සිදුවේ. ගෙදර දොර අගහිඟකම් ඇති වේ. මිත්‍රයන්ගෙන් තැබූ බලාපොරොත්තු කඩවේ. ගැටළු අවමවෙන ක්‍රමෝපායන් අනුගමනය කරමින් ඉවසීමෙන් සැළකිල්ලෙන් සිතාබලා දෛනික වැඩවල යෙදෙන්න.

 

සුදුසුකමට සරිලන අවස්ථා ලැබීම්

ඔබගේ ලග්නාධිපති ශනි හා යෝගකාරක කිවි-ගුරු මෙම මස තුළ හැසිරෙන ආකාරය කෙරේ සසඳා බැලීමේදී ඔබගේ ධනය, දේපොළ රැකියාව කෙරෙන් සුබදායී ප්‍රතිඵලදායී දේ රැසක් සිදුවනු ඇත.

එසේම සමස්තයක් වශයෙන් බලනකල මෙම මාසය තුළ සිත් සතුට ප්‍රීතිය ඇති වේ. වැඩකටයුතු සඵල වේ. අමුතුවෙන් ආරම්භ කරන කටයුතු මෙන්ම කරගෙන ආ කටයුතු ද දියුණුවට යයි. බලාපොරොත්තුවූ අදහස් බොහොමයක් ඉෂ්ටවේ. ලාභ ප්‍රයෝජන ලැබෙන මාසයකි. පියා සතු දෙයක් හිමිවේ. උසස් අයගෙන් පියාගෙන් වැඩිහිටියන්ගෙන් ලාභ ප්‍රයෝජන ලැබෙනවා ඇත.

තනතුරු නිලතල උසස්වීම් බලාපොරොත්තු අයගේ අදහස් සඵලවේ. වෙළෙඳ ප්‍රචාරක හෝ ප්‍රවාහන, සංචාරක වැනි ව්‍යාපාරයන්හි නිරත වන්නන්ට වැඩි දියුණුව සැලසෙන්නේය .ස්වාමි පක්ෂයේ හොඳහිත දිනා ගැනීමට ද හැකිවන්නේය. රැකියා කටයුතු රාජකාරීමය මෙන්ම ව්‍යාපාරික කටයුතු සිතෙහි සහනයෙන් මෙන්ම ක්‍රමවත් භාවයෙන් යුතුව කෙරෙනු ඇත. ස්වයං හා හවුල් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කටයුතු ද බාධාවෙන් තොරව කෙරෙනු ඇත. රැකියා විරහිත ඔබට සුදුසුකමට සරිලන අවස්ථා ලැබේ. තරග විභාග සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිටින මාසයකි.

ඔබට මෙම මාසය තුළ ආර්ථික දුෂ්කරතා ඇති නොවේ. විශේෂයෙන් ආර්ථික තත්ත්වය යහපත් කරගැනීම සඳහා ගන්නා උත්සාහයන් මෙම මාසය තුළ සාර්ථක වන්නේය. ලැබීමට තිබූ හිඟ මුදල් දිරිදීමනා වැනි මූල්‍ය අපේක්ෂා හිමිකර ගත හැකිවේ. උරුම හිමිකම් ලාභ හෝ ණය ගනුදෙනු බලාපොරොත්තු ඉටුකර ගතහැකි මාසයක්ද වන්නේය.

 

රැකියා ප්‍රස්ථා උදාවේ

මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ගුරු හා යෝගකාරකයින් මෙම මස තුළ හැසිරෙන ආකාරය කෙරේ සසඳා බැලීමේදී ඔබගේ අධ්‍යාපන, රැකියාව කෙරෙන් සුබදායී ප්‍රතිඵලදායී කාර්යයන් රැසක් සිදුවනු ඇත. සෙසු කාර්යන් වන ධනය දේපොළ මෙන්ම ආදර සබඳතා හා යුගදිවියේ කටයුතු වැනි දේවල් කෙරෙන් එතරම් යහපත් පසුබිමක් ඇති නොවේ. ඒවායේ කාර්යය කටයුතු මෙන්ම අරමුණු සැලසුම් විවිධ අවහිර බාධා ප්‍රශ්නකාරී ස්වභාවයන් මධ්‍යයේ කරගෙන යාමට සිදුවේ. එබැවින් මේවාට අදාල තීන්දු තීරණ වලදී හදිසියට කලබලයට කටයුතූ නොකරන්න.

මෙම මස තුළ ඔබගේ ලග්න කේන්ද්‍රයේ විද්‍යාස්ථානයේ යෙදී ඇති ග්‍රහයෝගය ඉගෙනීම් කටයුතු බාධාවකින් තොරව කරගැනීමට ශක්තිය බලය ගොඩනගන්නකි. අවබෝධ ඥානය ධාරණ ශක්තිය හොඳින් ගොඩනැගේ. අපේක්‍ෂිත අධ්‍යාපන ඉලක්කයන්ට ළඟාවීමට අවශ්‍ය දෑ සැකසේ.

කර්මස්ථානාධිපති බලයෙන් යුක්ත බැවින් ඔබ මෙම මස වැඩිපුර සිතන්නේ තමා නිරත රැකියා-ව්‍යාපාරික කටයුතු කෙරෙහිය.එබැවින් ඔබට මෙම මාසයේ තම රක්‍ෂාව ගැන උසස් දැනුමක් ලැබීමටත් රක්‍ෂාවෙන් උසස්වීමටත් අවස්ථාව උදාවේ. තම රැකියාව හා ව්‍යාපාරය එක්තරා පිළිවෙළකට අවුල් සහගත තත්ත්වයකින් තොරව කරගෙන යාමට පවත්වාගෙන යාමටත් අවශ්‍ය දෑ පිළියෙළ වේ. කෙසේ නමුත් ඔබට මෙම මස රක්‍ෂාව පිළිබඳ තදබල කරදර ඇතිවන්නේ නැත.රැකියා ඉල්ලුම්පත් ලැබේ.තරග විභාග සම්මුඛ පරීක්‍ෂණාදියෙන්ද ජයග්‍රහණ අත් වී විරැකියාවට පිළියම් සොයගැනීමටත් අවස්ථාව සැලසේ. විදෙස් රැකියාවකට බලපෑ බාධා පහව යයි.

බෙන්තොට- හේමන්ත වීරසිංහ