2026 වසර උදා වීම මීන ලග්න හිමියන්ට වර්ෂය පුරා බලපාන  ප්‍රබල ග්‍රහ මාරු සහ ඒ ඔස්සේ ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට ඔබේ ලග්නය පිළිබදව දැනුවත් වෙන්න.

සමාජීය පසුබිම

පවුලේ අය සමඟ ඉවසීමෙන් කටයුතු කරන්න ඕන.මේ අවුරුද්දේ තදබල ලෙස ඒරාෂ්ටකයක් ගත වෙනවා. අන්‍යන් වෙනුවෙන් රෝහල් වලට, බන්ධනාගාර වෙත යෑම්  වලට යන්න  ඉඩ තිබෙනවා. පවු‍ලේ කෙනෙක් නිසා හෝ කුමන හෝ කටයුත්තක් නිසා සිදුවියහැකියි. පීඩන මැදින් ජීවිතය ගෙනයන්න වෙන වසරක්.මේවා කාටත් නොයන අපල නෙමේ කාටත් මුහුණ දෙන්න සිදුවන අපල. සතුරු කරදර, පෙර කර්ම බලවත්ව ක්‍රියාත්මක වන කාලයක්.ඒ නිසා පිළිවෙත් කරලා පින් රැස් කරගන්න උත්සාහ කරන්න. ලග්න ලැයිස්තුව තුළ ක්‍රීඩාකාරීම ලග්නයක් ලෙස මේ ලග්නය හඳුන්වන්න පුළුවන්.හරිම කලබලකාරී බවකින් තමයි ඔබ නිතරම ඉන්නේ. එම තත්ත්වයන් ඔබට ඇති කරන්නේ ඒරාෂ්ඨකය විසින්. අත්දැකීම් බහුල , පරිපූර්ණත්වයක් ඔබගෙන් පෙන්නුම් කරනවා.නමුත් වැටීම් ද පෙන්නුම් කරනවා. ජීවිතයට පාඩම් ඉගෙන ගත හැකි කාලයක් මේ කාලවකවානුව. ලඟින් හිටපු පුද්ගලයන් පිළිබඳව හොඳ අත්දැකීමක් මේ කාලය තුළ ජීවිතයට උදාවෙනවා. එම නිසා නරක කාලයක් හෝ අසුභ කාලයක් හෝ අපල කාලයක් කියන්නෙත් තමන්ගේ ජීවිතයට පොහොර වැටෙන කාලයක්. දරුවන්ගේ ඉගෙනීම් වලට බාධා ඇති වෙන්න පුළුවන්. විවිධ අසනීප රෝග පීඩා ඇතිවෙන්න පුළුවන්. එම නිසා දරුවන් පිළිබඳව හොඳ සෙවිල්ලෙන් බැලිල්ලෙන් කටයුතු කරන්න. අනතුරු වළක්වා ගැන කටයුතු කරන්න මග බලාගන්න. මුළු ජීවිතේම අමතක නොවෙන සිද්ධි මේ කාලවකවානුවේ වෙන්න පුළුවන්. කුඩා දරුවන් පවු‍ලේ සිටිනවා නම් ඔවුන්ගේ හැසිරීම පිළිබඳව හොඳින් සොයා බැලිය යුතු කාලසීමාවක්.

ආදායම් තත්වය 

ආදායමට වඩා අධික වියදම් ඇතිවන කාලයක්. ආදායම ලැබෙන්නේ අඩුවෙන් නමුත් වියදම ඉහළ යනවා. ඒක සමබරව පවත්වාගෙන යන්න ඔබ කටයුතු කරන්න.

රැකියාවේ ස්භාවය

රැකියා සඳහා විදෙස් ගතවීම් වලට යහපත්. විදේශගත අයට මෙම දෝෂ අඩුවෙනවා. උපන් අක්ශාංශ, දේශාංශ වලින් ඈත් වී ඉන්න  නිසයි එහෙම වෙන්නේ

සෞඛ්‍ය තත්ත්වය
 
 පපුව ,ආමාශය, මුත්‍රා  රෝග ,සන්ධිපත් රෝග, අර්ශස් තත්ත්වයන් ආදී දේවල් තියෙන අය පරිස්සම් වෙන්න. දියවැඩියාව, කොලෙස් රෝල් තියෙන අය කොහොමත් පරිස්සම් වෙන්න. 

ප්‍රතිකර්ම
ආගමානුකූලව කටයුතු කරන්න. බෝධි පූජා, දන්දීම්,වැඩිහිටි පාර්ශ්වයන්ට සැලකීම් ආදිය කරන්න. පිය පාර්ශවය පිළිබඳව වැඩිය සිතා කටයුතු කරන්න. ඔබේ අසුභ දේවල් සුභ කරගන්න මම කියපු ප්‍රතිකර්ම  සිදුකරන්න. 

අදහස්‍ දැක්වීම - ප්‍රවීණ ජෝතීර්වේදිනී ප්‍රසාදිනී නර්මදා මහත්මිය 

සටහන - පියුමිකා වීරසූරිය