IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


වාහන ආනයනය හිතකරද?

වාහන ආනයනයට අවසර දීමේ දී රජය බලාපොරොත්තු වූයේ 2025 වසර තුළ ඩොලර් බිලියන 1.2ක් වටිනා වාහන මෙරටට ආනයනය කරනු ඇතැයි යන්නය. එසේ වුව ද මේ වනවිට එම ප්‍රමාණය ඉක්මවා වාහන ගෙන්වීම සඳහා ඩොලර් බිලියන 1.5ක් වටිනා ණයවර ලිපි (LC) විවෘත කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව වසර අවසන් වනවිට ඩොලර් බිලියන 1.8ක පමණ වාහන ආනයනය කිරීම සඳහා අවසර දීමට රජය බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ වී ඇත. වාහන ආනයනයට නැවත අවසරදීම තුළ අරමුණු දෙකක් ඉටු කර ගැනීමට රජය බලාපොරොත්තු විය. 2020 වසරේ සිට වාහන ආනයනය නතර කර තිබූ බැවින් නැවත වරක් ජනතාවට වාහන ආනයනය කිරීම සඳහා අවසරදීම එක අරමුණක් විය. වාහන ආනයනයෙන් විශාල බදු ප්‍රමාණයක් අය කරන බැවින් ඒ ඔස්සේ රජයේ බදු ආදායම ඉහළ නංවා ගැනීම අනෙක් අරමුණ විය.

කොවිඩ් අර්බුදය සහ ඉන්පසු ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් රට විදේශ විනිමය හිඟයකට මුහුණදීම නිසා වාහන ආනයනය නවතා දැමීමට සිදු විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීර්ණ ණය ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව විදේශ විනිමය හිඟය තරමක්දුරට මග හරවා ගැනීමට හැකිවූ අතර, 2024 වසරේ මැද භාගය පමණ වනවිට ජාත්‍යන්තර මූල්‍ය ආයතන නවතා දමා තිබුණු ව්‍යාපෘති ණය ලබාදීම ආපසු ඇරැඹීමත් සමග රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය ද ඉහළ ගියේය. සංචාරක පැමිණීම වැඩිවීමත්, රටට ලැබෙන විදේශ ප්‍රේෂණ ඉහළයාමත් හේතුවෙන් රටේ විදේශ විනිමය සැපයුම සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගියේය. 2024 වසරේ ඔක්තෝබර් මාසයේ සිට වාහන ආනයනය අදියර 03ක් යටතේ විවෘත කරන බව පසුගිය රජය ප්‍රකාශයට පත්කර තිබූ අතර 2024 වසරේ බලයට පත්වූ නව රජය ද එම අදියර තුනට අනුකූලව වාහන ආනයනය නැවත ආරම්භ කිරීමට කටයුතු කළේය.

2025 වසරේ ඔක්‌තෝබර් 14 වැනිදා වනවිට මෝටර් රථ 55,447 ක්ද, භාණ්ඩ ප්‍රවාහන රථ 7,331 ක්ද, යතුරුපැදි 142,534 ක්ද, ත්‍රිරෝද රථ 15,035 ක්ද, මගී ප්‍රවාහන රථ 1,679 ක්ද මේ වසරේ දී ශ්‍රී ලංකාවට ආනයනය කර තිබුණි. එම වාහන ආනයනයෙන් බදු වශයෙන් රුපියල් බිලියන 630ක් අය කරගෙන තිබේ. ඉදිරි මාස දෙක තුළ වාහන ආනයනයේ දී ලැබෙන බදු ප්‍රමාණය තවදුරටත් වැඩි වනු ඇත. මේ වසරේ රජයේ රේගු බදු ඉලක්කය ඩොලර් බිලියන 2,115ක් වන අතර ඉන් රුපියල් බිලියන 630ක් මේ වනවිටත් වාහන ආනයනය මගින් ලබාගෙන තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා රේගුව මේ වසරේ දී තම ඉලක්ක ඉක්මවා යන බදු ප්‍රමාණයක් රැස්කර ඇති බව වාර්තා වේ. එයට හේතුව වාහන ආයනයනය නිසා රේගුව විසින් අය කර ගනු ලබන බදු ප්‍රමාණය අපේක්ෂිත ඉලක්ක ඉක්මවා ගොස් තිබීමයි.

ආදායම් ඇති අය සහ බදු ගෙවිය යුතු අය බදු නොගෙවීම ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන මූලික ගැටලු‍වකි. එසේ වුව ද මෝටර් රථයක් මිලදී ගැනීමට සූදානම් වන පුද්ගලයන්ට ඉහළ ආදායම් මට්ටමක් තිබිය යුතු නිසා එම වත්කමෙන් බදු අය කර ගැනීම මෝටර් රථ ආනයනයේ දී පහසුවක් වේ. මෝටර් රථය වරායට පැමිණ එය නිදහස් කර ගැනීමට පෙරම බදු අය කර ගත හැකිවීම නිසා ශ්‍රී ලංකාවේ බදු ක්‍රම අතරින් පහසුවෙන් සහ කෙටි කාලයක් තුළදී ඉහළම ප්‍රමාණයකින් බදු ලබාගත හැකි ක්‍රමය වන්නේ වාහන ආයනයන බද්දයි. වාහන වරායෙන් පිට කිරීමට පෙර බදු ගෙවිය යුතුය. බදු ගණනය කිරීම පහසුය. අය කර ගැනීම පහසුය. බදු කළමනාකරණය කිරීම සඳහා වැය වන්නේ ඉතා අඩු පිරිවැය ප්‍රමාණයකි. එබැවින් ආණ්ඩුව මෙන්ම බදු අය කරන ආයතන ද වාහන බදු අය කර ගැනීම මගින් තම බදු ඉලක්ක සපුරා ගැනීමට හැකිනම් බෙහෙවින් සතුටට පත්වනු ඇත.

කෙසේ වුව ද ආර්ථික අර්බුදයට මුහුණදීමෙන් පසුව මේ වනවිට රට කිසියම් ස්ථාවරත්වයක් ගොඩනගාගෙන ඇති නමුදු සියලු‍ ආර්ථික ගැටලු‍වලට සම්පූර්ණයෙන්ම විසඳුම් ලබාගැනීමට තවමත් හැකිවී නැත. විදේශ විනිමය ලැබීම සම්බන්ධයෙන් මේ වනවිට සතුටුදායක තත්වයක් ඇතිව තිබේ. බදු ආදායම ලබාගැනීම සඳහා වාහන ආනයනය ප්‍රධාන මූලාශ්‍රයක් බවට පත් කර ගැනීම සම්බන්ධයෙන් සමහර ගැටලු‍ ද පැන නගින බව අමතක කළ යුතු නැත. එක අතකින් වාහන ආනයනය සඳහා විදේශ විනිමය වැය කිරීමට සිදුවන අතර රට තුළ වැඩිවන වාහන ප්‍රමාණය අනුව රටේ ඉන්ධන භාවිතය ද ඉහළ යයි. ලිහිසි තෙල් වැනි අනෙකුත් තෙල් වර්ග ද, අමතර කොටස් ද ආනයනය සඳහා වැය කිරීමට සිදුවන විදේශ විනිමය ප්‍රමාණය ද ඉහළ නගී. විදුලි බලයෙන් ධාවනය කෙරෙන වාහන පරිසර හිතකාමී වුව ද විදුලිය නිපදවීම සඳහා ශ්‍රී ලංකාවට ඉන්ධන භාවිත කිරීමට සිදුවන හෙයින් විදුලි වාහන ආනයනය තුළ විශේෂ වාසියක් සැලසෙන්නේ නැත.

වාහන ආනයනය ඉහළයෑමත් සමග පැනනැගෙන තවත් ගැටලු‍වක් වන්නේ මාර්ග තදබදයයි. 2020 වසරින් පසු මේ දක්වාම රටේ ප්‍රධාන මහාමාර්ග සහ අනෙකුත් මාර්ගවල සැලකිය යුතු වර්ධනයක් සිදුව නැත. ඒ හේතුවෙන් මාර්ග පද්ධතියේ සංවර්ධනයක් නොවී ධාවනය කෙරෙන වාහන සංඛ්‍යාවේ වැඩිවීම දැනටමත් බොහෝ ප්‍රදේශවල ජනතාව අත්විඳින මාර්ග තදබදය තවදුරටත් ඉහළ යෑමට හේතුවක් වනු ඇත. ඉදිරි වර්ෂවල වාහන ආනයනය මේ ආකාරයෙන්ම පවත්වාගෙන යෑම පිළිබඳව රජය විසින් මාර්ගෝපදේශ සහ නිර්ණායක සකස් කළ යුතුව ඇත.

රටේ මාර්ග පද්ධතිය අනාගත ආර්ථික සංවර්ධන අරමුණු සමග සම්බන්ධ කරමින් සංවර්ධනය කළ යුතු ආකාරය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුව ඇත. ආණ්ඩුව දිවයිනේ කොළඹ ප්‍රධාන දුම්රිය ස්ථාන ප්‍රතිසංස්කරණය කරන බවට ප්‍රකාශ කර තිබේ. පිටකොටුව බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කිරීමට දැනටමත් කටයුතු කර ඇත. ශ්‍රී ලංකාව තවමත් දුම්රිය ධාවනය සඳහා යොදා ගනු ලබන්නේ ඩීසල් එන්ජින්ය. මේ වනවිට බොහෝ රටවල් ඉන්ධන භාවිතයෙන් දුම්රිය ධාවනය නවතා ඇති අතර ඒ වෙනුවට විදුලි බලය භාවිත කරනු ලබයි. අසල්වැසි ඉන්දියාව ඒ සුවිසල් රට පුරා විහිදී ඇති දුම්රිය සේවාවෙන් සැලකිය යුතු ප්‍රමාණයක් විදුලියෙන් ධාවනය කෙරෙන දුම්රිය මගින් පවත්වාගෙන යයි.

ඉන්ධන මගින් ධාවනය කෙරෙන දුම්රිය සේවාවක් දිගටම පවත්වාගෙන යන්නේ නම් තවත් ටික කලෙකින් විදේශ සංචාරකයන් ඩීසල් දුම්රිය නැරඹීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. ඊට හේතුව ඩීසල් මගින් ධාවනය කරන දුම්රිය ඇති අතළොස්සක් වූ රටවල් කිහිපය අතුරින් ශ්‍රී ලංකාව ද එකක් වීමට ඉඩ තිබෙන නිසාය. අගනුවර ප්‍රධාන දුම්රිය පොළවල ප්‍රතිසංස්කරණය කළ යුත්තේ සමස්ත රටම ආවරණය වන ප්‍රවාහන සැලසුමක කොටසක් වශයෙන් මිස ප්‍රචාරාත්මක හෝ ප්‍රදර්ශනාත්මක ව්‍යාපෘතියක් වශයෙන් නොවේ.

රටට අවශ්‍ය වන්නේ මාර්ග තදබදයකින් තොරව මහජනතාවට තම කාර්යාලවලට, සේවා ස්ථානවලට, ව්‍යාපාරික කටයුතුවලට සහ පාසල් ආදියට කෙටි වේලාවකින් ළඟාවිය හැකි කාර්යක්ෂම ප්‍රවාහන පද්ධතියකි. දියුණු සහ පහසු ප්‍රවාහන සේවාවක් රට තුළ ගොඩනැගෙන විට පෞද්ගලික වාහන භාවිතය කෙටි ගමන්වලට පමණක් සීමා වනු ඇත. වාහන සඳහා පවතින ඉල්ලු‍ම ද අඩු වනු ඇත. මාර්ග තදබදය අඩු කර ගැනීමට ද ඉන් ඉඩ ලැබෙයි. ඒ පිළිබඳව අවධානය යොමු නොකරන තෙක් වාහන ආනයනය කිරීම සඳහා පවතින ඉල්ලු‍ම අඛණ්ඩව ඉහළ යනු ඇත.

ශ්‍රී ලංකාවට විදේශවලින් ලබාගෙන ඇති ණය ආපසු ගෙවීම 2028 වසරේ සිට ආරම්භ කිරීමට සිදුවනු ඇත. මේ වනවිට වාහන ආයනයනය නිසා ආනයන වියදම විශාල ලෙස ඉහළ ගොස් තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන එකඟතා අනුව රටේ විදේශ සංචිත ප්‍රමාණය ඉහළ නැංවීමට සිදුවේ. වාහන ආනයනය සඳහා නිල සංචිත භාවිත නොකරන නමුදු ඒවා වැඩි කර ගැනීම සඳහා මහ බැංකුවට දේශීය වෙළෙඳපොළෙන් ඩොලර් මිලදී ගැනීමට ඇති හැකියාව අඩු වනු ඇත. එවැනි තත්වයක් තුළ වාහන ආනයනය සම්බන්ධයෙන් වඩා පරිස්සම්කාරී ප්‍රවේශයක් ඇති කර ගැනීම පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුව ඇත.

 

(***)

කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා

අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය

සුනන්ද මද්දුමබණ්ඩාර



අදහස් (0)

වාහන ආනයනය හිතකරද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 175 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2063 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site