ජාතික ජනබලවේගය ආණ්ඩුව තම දෙවැනි අයවැය වාර්තාවෙන් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට කළ යෝජනාව මගින් සමගි ජනබලවේගය කරකවා අතහැර ඇත. සජබට මෙය එළිපිට අගය කිරීමටවත් හෙළා දැකීමටවත් නොහැකි යෝජනාවකි.
පසුගිය වසරේ සැප්තැම්බර් 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයේදී ආසන්න වශයෙන් ඡන්ද ලක්ෂ 44ක් ගත් සජබ එම වසරේ නොවැම්බර් 14 වැනිදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලබා ගත්තේ ආසන්න වශයෙන් ජන්ද 28 ලක්ෂයකි. මෙම විශාල පසු බැස්මට ප්‍රධාන හේතුවක් වූයේ ජනාධිපතිවරණයේ දී සජබට සහාය දුන් දෙමළ කතා කරන ජනතාවගේ පක්ෂ වෙනම තරග කිරීමය.
ඒ අනුව වතුකරයේ දෙමළ ජනතාව අමනාප කර ගැනීම ඉදිරි ජනාධිපතිවරණයක දී සජබට විශාල අවාසියකි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට සිය අයවැය මගින් යෝජනාවක් ඉදිරිපත් කළේ මේ පසුබිම තුළය.
වතු කම්කරුවන්ගේ වැටුප පසුගිය දශක ගණනාවක් තිස්සේ විටින් විට වැඩි කරනු ලැබුව ද එය වැඩි කළ යුතුය යන්න සෑමදාම යළි යළිත් ඉදිරිපත් වූ එකකි. ඊට හේතුව එය වෙනත් බොහෝ ක්ෂේත්‍රවල කම්කරුවන්ගේ වැටුපට සාපේක්ෂව ඉතා පහළ මට්ටමක නිතරම පැවතීමය. 2019 දී ඔවුන්ගේ ඉල්ලීම වූයේ දිනකට රුපියල් දාහකි. පසුගිය වසර වනවිට එය රුපියල් 1350ක් දක්වා වැඩි වි තිබිණි.
එම දෛනික වැටුප රුපියල් 1750 දක්වා වැඩි කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය අයවැය කතාවේ දී ප්‍රකාශ කළේය. එම යෝජනාව අනුව 2026 ජනවාරි මාසයේ සිට ප්‍රාදේශීය වැවිලි සමාගම් වතු- කම්කරුවාගේ දෛනික වැටුප වත්මන් රුපියල් 1350 සිට 1550 දක්වා රුපියල් 200කින් වැඩි කරනු ඇත. ඒ සමගම රජය පැමිණීමේ දිරි දීමානවක් ලෙස දිනකට කම්කරුවකුට රුපියල් 200ක් දෙනු ඇත. එවිට ඔවුන්ගේ දිනෙක වැටුප රුපියල් 1750ක් වනු ඇත.
සජබ මෙම යෝජනාවට එරෙහි වුවහොත් එය ඉදිරි ජනාධිපතිවරණයක දී ඔවුනට සහාය දිය හැකි පිරිසක් අමනාප කර ගැනීමකි. අනෙක් අතට ඊට පක්ෂ වූවහොත් එම වැටුප් වැඩි කිරීමේ කීර්තිය ලබා ගන්නේ ජාතික ජනබලවේගයයි.
කෙසේ වෙතත් පෞද්ගලික අංශයේ සමාගම්වල සේවකයන්ට රජයේ ඒකාබද්ධ අරමුදලෙන් වැටුප් ගෙවීම නීති විරෝධි යැයි ද එය රාජ්‍ය මුදල් කළමනාකරණ පනත උල්ලංඝනය කිරීමකැයි ද ඇතැම් පිරිස් කියති. සජබ මන්ත්‍රීවරයකු වන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සභාපතිත්වය දරන රාජ්‍ය මුදල් කාරක සභාව ද එය නීති විරෝධී යැයි නිගමනය කළ බව පුවත්පත්වල සඳහන් විය.
ඒ අනුව සජබ මාතලේ දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්න මහත්මිය ඒ සම්බන්ධයෙන් මැදිහත් වන්නැයි ඉල්ලා විගණකාධිපති දෙපාර්තමේන්තුව ජාතික ප්‍රසම්පාදන කොමිසම හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කිරීමේ කොමිසම යන ආයතනවලට ලිපියක් ලියූවාය.
කවිරත්න මහත්මිය ඉදිරිපත් කළ කරුණුවලට සජබ එරෙහි නොවුවද වතු කම්කරුවන් නියෝජනය කරන දේශපාලන පක්ෂවල සහාය තමන්ට නොලැබෙනු ඇතැයි බිය වූ සජබ වහාම කවිරත්න මහත්මියගේ මතය සජබ මතය නොවේ යැයි ප්‍රකාශ කළේය. එහෙත් ඇත්ත වශයෙන්ම සජබ එම ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇයගේ මතයට වෙනස් මතයක්, එනම් පෞද්ගලික වතු සමාගම්වල කම්කරුවන්ට ඒකාබද්ධ අරමුදලෙන් දීමනාවක් දීම නීත්‍යානුකූල යැයි ප්‍රකාශයක් කළේ ද නැත. පසුව ඇය ද තමන් ඉදිරිපත් කළේ තමන්ගේ පෞද්ගලික මතය යැයි ප්‍රකාශ කළ බව කියැවිණි.
වතු කම්කරුවන්ට ආණ්ඩුව දෙන්නට යන දීමනාවේ නීත්‍යනුකූලභාවය පිළිබඳ ආරම්භයේ දී යම් යම් අදහස් පළ වුවද දැන් සිදුවී ඇත්තේ දේශපාලන හේතු මත සියල්ලන්ම එය අනුමත කිරීමය.
ජාතික ජනබලවේගය වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 2000 දක්වා වැඩි කරන බව ඉකුත් මැතිවරණ සමයේ දී පැවැසීය. එහෙත් පෞද්ගලික සමාගම්වල වැටුප් පිළිබඳ තීරණ ගැනීමට ආණ්ඩුවකට නොහැකිය. කළ හැක්කේ පඩි පාලක සභාවේ දී කම්කරු කොමසාරිස්වරයා මගින් මැදිහත්වීමක් කිරීම පමණි. එහිදීද කම්කරු කොමසාරිස්වරයාටද වැටුප් සම්බන්ධයෙන් පෞද්ගලික සමාගමකට නියෝග දිය නොහැකිය.
මෙම වැටුප් ප්‍රශ්නය සම්බන්ධයෙන් කම්කරු ඇමැතිවරයා හෝ ජනාධිපතිවරයා වැවිලි සමාගම්වල පාලකයන් සමග සාකච්ඡා කර එකඟතාවක්ද අති කර හැකිය. පසුගිය ඔක්තෝබර් 13 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එවැනි සාකච්ඡාවක් පැවැත්විණි. සමහරවිට දැනට කම්කරුවන්ට ගෙවන රුපියල් 1350 රුපියල් 1550 දක්වා වැඩි කිරීමට සමාගම් බලධාරීන් එකඟ වන්නට ඇත්තේ එහිදී විය යුතුය.
මෙහිදී රජය කම්කරුවකුට දිනකට රුපියල් 200ක් ගෙවන්නට තීරණය කරන්නට ඇත්තේ තම මැතිවරණ පොරොන්දුව නිසා විය යුතුය. එහෙයින් එය දේශපාලන තීන්දුවකි. එහි මානුෂීය පදනමක් තිබුණ ද එම පදනමින් වැටුප් වැඩි කරන්නේ නම් එවැනි දීමනාවක් ලබන්නට සුදුසු තවත් කණ්ඩායම් සිටී.
අනෙක් අතට සජබ ඇතුළු විවිධ පක්ෂ කණ්ඩායම් හා මාධ්‍ය මූලික නීති විරෝධී යැයි කියමින් ඊට විරුද්ධ වූයේ ද දේශපාලන පදනමිනි. පසුව එම පක්ෂ හා කණ්ඩායම් එය නීති විරෝධී යන මතය දරමින්ම නිහඬ වූයේද මානුෂික පදනමින් නොව දේශපාලන පදනමිනි.
කෙසේ වෙතත් පෞද්ගලික සමාගම්වල සේවකයන්ට රජයේ ඒකාබද්ධ අරමුදලෙන් දීමනාවක් දීම ගැන ජනමාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට ජනමාධ්‍ය ඇමැති හා කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පිළිතුරු දෙමින් ඉදිරිපත් කළ තර්කය ද ප්‍රබලය. ඔහු පැවසුවේ මෙම දීමනාව පෞද්ගලිකව රැකියාව කරන ගොවියාට දෙන පොහොර සහනාධාරයට සමාන බවය.
මෙම කාරණයේදී තවත් පිරිසක් ද අමාරුවේ වැටී සිටිති. ඒ මලයියන (කඳුකරයේ) ජනතාව ලෙස මෑතක සිට හඳුන්වනු ලබන, කලින් ඉන්දීය සම්භවයෙන් පැවත එන ජනතාව ලෙස හැඳින්වුණු ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂයි. සජබට මෙන්ම එම පක්ෂවලටද ආණ්ඩුවේ මෙම රුපියල් 200 දීමනාව උභතෝකෝටික ප්‍රශ්නයකි. කෙසේ වුවද කඳුරට ජනතාව නියෝජනය කරනු ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, කඳුරට ජනතා පෙරමුණේ නායක ආර්. රාධාක්‍රිෂ්ණන්, කම්කරු ජාතික සංගමයේ නායක පලනි දිගාම්බරන් හා ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ජීවන් තොණ්ඩමාන් යන මන්ත්‍රීවරු අයවැය දෙවැනි වර කියවීමේ විවාදය අවසානයේදී අයවැයට පක්ෂව ඡන්දය දුන්හ.
ඔවුන් අයවැය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයෙන් පසුද සමස්ත අයවැයට පක්ෂව ඡන්දය දෙනු ඇත්ද යන්න තවමත් පැහැදිලි නැත. බොහෝ විට ඔවුන් එසේ කරනු ඇත. එහෙත් මීට කලින් වතු කම්කරුවන්ට ලැබුණු වැටුප් වැඩිවීම් සම්බන්ධයෙන් වතුකරයේ ඇතැම් පක්ෂ අයිතිවාසිකම් කියා ගත්තද මෙවර මෙම රුපියල් 200 සම්බන්ධයෙන් ඇතිවූ ආන්දෝලනය නිසා එසේ එම පක්ෂ කිසිවකුට ඊට අයිතිවාසිකම් කීම දුෂ්කර වනු ඇත. දැනටමත් වතුකරයේ ජනතාව මෙම දීමනාව සම්බන්ධයෙන් ප්‍රශංසා කරන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාටය.
මෙය මෙම ජනතාව තවදුරටත් ජාතික ජනබලවේගය වෙතට ඇදී යාමට හේතුවිය හැකිය. පසුගිය ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ද වතුකරයේ මෙන්ම වෙනත් ප්‍රදේශවලද විසිරී සිටින කඳුරට ප්‍රජාවගෙන් සැලකිය යුතු පිරිසක් ජාතික ජන බලවේගයට ඡන්දය දුන්හ. එම ප්‍රජාවගේ අයකු වත්මන් ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයෙකි. එම ජනතාවගේ ඡන්දයෙන් තෝරා ගනු ලැබූ මන්ත්‍රීවරයෙක් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස පත් කරනු ලැබ සිටී.
කඳුරට ප්‍රජාව යම් විදියකින් ඉදිරියේදී තවදුරටත් ජාතික ජන බලවේගය දෙසට ඇදී ගියද මෙතෙක් එම ප්‍රජාව නියෝජනය කළ පක්ෂවල නායකයන්ට ජාජබ සමග කටයුතු කිරීම දුෂ්කර වනු ඇත. ඊට ප්‍රධාන හේතුව වන්නේ ඔවුන් වරප්‍රසාදවලට හුරුවී සිටින හෙයිනි. ඒ අනුව ආණ්ඩුවේ මෙම රුපියල් 200 දීමනාව ඇතැම් විට මෙම පක්ෂවල නායකයන්ගේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක්ද විය හැකිය. ඇතැම් විට ඔවුන්ගෙන් සමහරුන් එය වැළැක්වීම සඳහා පසුගිය ජනාධිපතිවරණයේ දී හා මහ මැතිවරණයේ දී උතුරේ ඇතැම් පක්ෂ කළා සේ සිංහල භීතිකාවක් ඇති කරන්නට ද ඉඩ තිබේ.
මෙම වැටුප් වැඩිවීම විශාල වතු හිමි ප්‍රාදේශීය වැවිලි සමාගම් 25 යටතේ සේවය කරන කම්කරුවන්ට පමණක් ලැබෙන්නක් බව පෙනේ. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීයකු සන්ඩේ ටයිම්ස් පුවත්පතට එසේ පවසා ද තිබිණි. ඇතැම් වාර්තා අනුව තේ ඉඩම්වලින් සියයට 60ක් පාලනය කරන තේ අපනයනයෙන් සියයට 70ක් සඳහා තේ දලු සපයන කුඩා තේ වතුවල කම්කරුවන්ට එය අදාළ බවක් කොතැනකවත් කියවෙන්නේ නැත. එහෙත් කුඩා තේවතුවල කම්කරුවන්ට වඩා වැඩි වැටුපක් ලැබෙන බව ද කියවේ.
ආණ්ඩු විරෝධී පිරිස් එම කාරණය ද පදනම් කරගෙන සමාගම් යටතේ වැඩ කරන කම්කරුවන් කුඩා වතුවලට යාම වළක්වා තමන් යටතේම තවදුරටත් තබාගෙන සූරා කන්නට ආණ්ඩුව මෙම වැටුප් වර්ධකයෙන් කටයුතු කර ඇතැයි කියති. එහෙත් ඔවුන් පවසන පරිදි එසේ වන්නේ කුඩා තේ වතුවල කම්කරුවන්ට වඩා මෙම වැටුප් වර්ධකයෙන් පසු සමාගම් කම්කරුවන්ට වැඩි වැටුපක් ලැබෙන්නේ නම් පමණි.
පසුගිය වසරේදී වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1350සිට 1700 දක්වා වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කම්කරු දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. ඒ අනුව කම්කරු දෙපාර්තමේන්තුව ගැසට් නිවේදනයක් පළ කළේය. වතු පාලකයෝ ඊට එරෙහිව අධිකරණයට ගියහ. ශ්‍රේෂ්ඨාධිකරණය ඊට අතුරු තහනමක් පැනවීය. ඉන්පසු පඩි පාලක සභාව එම වැටුප් වර්ධකය ප්‍රකාශයට පත් කළේය. එයද ඇදි ඇදී ගියා විනා ක්‍රියාත්මක වූයේ නැත.
කම්කරු දෙපාර්තමේන්තුවට පෞද්ගලික සමාගමක වැටුප් පිළිබඳව තීරණ ගත නොහැකි බවත් සාකච්ඡා මාර්ගයෙන් එකඟතාවක් ඇති කර ගතහොත් විනා පඩි පාලක සභාවට ද එසේ කළ නොහැකි බවත් වික්‍රමසිංහ මහතා වැන්නකු නොදැන සිටි බව සිතිය නොහැකිය. මෙය පැහැදිලිවම ජනාධිපතිවරණයක් ළඟ එන තත්වය යටතේ ඔහු ගත් දේශපාලන ක්‍රියාමාර්ගයක් විනා අනෙකක් නොවේ.
වතුකරය ක්ෂේත්‍රයක් වශයෙන් ගත් කල අනෙක් ක්ෂේත්‍රවලට වඩා අධ්‍යාපන, සෞඛ්‍ය පහසුකම් ළමා මරණ, ළදරු මරණ මාතෘ මරණ ප්‍රවාහන පහසුකම් නිවාස පහසුකම් ආදිය අතින් ඉතා නරක තත්වයක් පෙන්වන ක්ෂේත්‍රයකි. වතු පාලනය කළ ආයතන රාජ්‍ය සංස්ථා වශයෙන් ද වතු කම්කරුවන් නියෝජනය කරන වෘත්තීය සමිති නායකයන් ආණ්ඩුවේ ඇමැතිවරුන් වශයෙන් ද කටයුතු කළ කාලවල දී හෝ එම කම්කරුවන්ගේ වැටුප සහ ඉහත කී ප්‍රශ්නවලට කල් පවතින විසඳුමක් සෙවීමට කිසිදු වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක නොවීය. දැනට සාකච්ඡාවට ලක්වී ඇති වැටුප් ප්‍රශ්නය පමණක් නොව වතුකරයට ප්‍රශ්න මේ තරම් දරුණු වී ඇත්තේ බලපාන සියලු කම්කරුවන් පිළිබඳව පැවැති ආණ්ඩුවල හා වතු පාලකයන්ගේ ආකල්ප නිසාය යන්නට එය හොඳ උදාහරණයකි.
මේ නිසා කඳුකර ප්‍රජාවේ තරුණ පරම්පරාව, ටිකින් ටික එම ප්‍රදේශ අත්හැර වෙනත් ප්‍රදේශවලට ඇදී යයි. වසර තිහකට හතළිහකට පෙර පැවතියා සේ වතුකරය දැන් හුදකලා ප්‍රදේශයක් නොවේ. ජනමාධ්‍යවල හා අන්තර්ජාලයේ බලපෑම දුෂ්කරම පළාත්වල වතුවලට ද දැන් දැනේ. ආණ්ඩුවලත් වතු පාලකයන්ගේත් වතු වෘත්තීය සමිතිවලත් ආකල්පය හමුවේ එය ඉදිරියේ දී ඇතැම් විට වතු පවත්වාගෙන යාම කෙරෙහි ද බලපෑ හැකිය.
(*** එම්.එස්.එම්.අයුබ්)
2025 නොවැම්බර් මස 21
33
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
146
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
993
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
වතු පඩියෙන් විපක්ෂය ඇනගැනීම