ශ්‍රී ලංකාවේ වන අලි ගමන් ගන්නා සංක්‍රමණික මාර්ග කන්ඩණය වීම හා ඒ ආශ්‍රීත සිදුවන මානව ක්‍රියාකාරකම් මෙරට අලි-මිනිස් ගැටුම වර්ධනයට තුඩු දි ඇති ප්‍රධාන කරුණකි. ශ්‍රී ලංකාවේ වනාන්තර පද්ධතීන් එකිනෙක හා සම්බන්ධවන, ප්‍රධාන අලි මංකඩ (Elephant Corridors) 16ක් මේවනවිට හඳුනාගෙන තිබේ.
එම අලි මංකඩවල් අතරින්, ලුණුගම්වෙහෙර සහ උඩවලව ජාතික වනෝද්‍යාන යා කරන වැටහිරකන්ද හා උඩවලව සිට බෝගහපට්ටිය දක්වා වන අලි සංක්‍රමණය වන දහයියාගල අලි මංකඩවලට හිමිවන්නේ ප්‍රධාන තැනකි. එහෙත් වසර ගණනාවක සිට වන අලි ගමන්ගන්නා මෙම සාම්ප්‍රදායික සංක්‍රමණික මාර්ග හරස් කර, ගම්වැසියන් කරන කැළෑ ඉඩම් අත්පත්කර ගැනීම, වන විනාශය හා වෙනත් වාණිජ පර්මාර්ථ වෙනුවෙන් සිදු කරන ඉඩම් කොල්ලය නිසා මෙම වන අලි මංකඩ දෙකම ඉතා ශීඝ්‍රයෙන් වැනසෙමින් ඇතිබව පරිසර සංවිධාන පෙන්වා දෙයි.
“දහයියාගලත්, වැටහිරකන්දත් කියන්නේ ආරක්ෂාකළ යුතුම වනඅලි සංක්‍රමණික මාර්ග දෙකක්. මේක විනාශ වුණොත් හෝ විනාශ කළොත් ඉන් ඒ අවට ගම්මානවල මිනිස්සුන්ට විඳින්න වන හානිය ඉතාම බරපතළ විය හැකිය. එහෙත් මිනිස්සු දුර නොහිතා කරන විනාශ නිසා අලි - මිනිස් ගැටුම වර්තමානයේ විසඳුමක් සොයාගත නොහැකි අර්බුදයක් වෙලා තියෙනවා’’ මොණරාගල සොබා පදනම සංවිධානයේ දුලිප් ප්‍රසන්න මහතා පවසයි.
වැටහිරකන්ද සහ දහයියාගල කැළෑවල ඇති වැදගත්කම මොකක්ද ?
වැටහිරකන්ද රක්ෂිතය යනු වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් හෙක්ටයාර 3229 ක විශාලත්වයකින් යුතු කැළෑවකි. මෙය රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත්තේ 2002.06.07 වැනිදාය. පානම කුඩුම්බිගල අභය භුමිය, කුමන සිට ලුණුගම්වෙහෙර වනෝද්‍යානය දක්වා පැමිණෙන වන අලි උඩවලව දක්වා ඇති වැටහිරකන්ද යන මෙම පටු වනාන්තර තිරුව හරහා ගමන් කරති. වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පටු වනාන්තර තිරුව පෝෂණය කරන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු පරිවාර වනාන්තර රැසක් ඇති අතර එම වනාන්තර අල්ලාගෙන විනාශකරන විවිධ පිරිස් හා කණ්ඩායම් නිසා වැටහිරකන්ද රක්ෂිතය දවසින් දවස පටුවෙමින් විනාශ වෙමින් තිබේ.
‘දැන් වසර ගණනාවක ඉඳලා වැටහිරකන්ද රක්ෂිතයට අයත්, කැළෑ ඉඩම් සහ එම රක්ෂිතය පෝෂණය කරන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර, විශාල වශයෙන් එළිවෙමින් පවතිනවා. දැනටමත් විවිධ පිරිස් අක්කර දහස් ගණනක් අල්ලගෙන වනසලයි තියෙන්නේ. දැන් දවස් ගණනකට පෙර මේ රක්ෂිතයේ පරිවාර වනාන්තරයක් වූ බලහරුව රජයේ වනාන්තරයේ ගැමුණුපුර, දෙබරආර, කෙම්හත කියන ප්‍රදේශයේ කැළෑ ඉඩම්වල තිබුණ කුඹුක්, වීර, පලු, කෝන් වගේ දැවැන්ත ගස් පෙරලලා ඒවට ගිනි තියලා විනාශකරලා තිබුණා. මේ අපරාධය කාලයක් තිස්සේ කරමින් යන්නේ වැල්ලවාය ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ සහෝදරයන් සහ ඔහුගේ ඥාතින් පිරිසක්. උඩවලව වනඅලි පර් යේෂණ මධ්‍යස්ථානයේ වනඅලි පර් යේෂකයකු වන සමීර විරතුංග මහතා පෙන්වාදෙයි.
වැටහිරකන්ද රක්ෂිතයට අයත් වන සංරක්ෂන දෙපාර්තමේන්තුව සතු කැළෑවලට ඉකුත් කාලයේ සිටම වැඩි වශයෙන් හානිකරන්නට වුයේ වැල්ලවාය ප්‍රාදේශිය දේශපාලනඥයකුගේ සහෝදරයන් හා ඥාතින් බව ගම්මු කියති. ප්‍රාදේශීය දේශපාලනඥයා මෙම අපරාධවලට සම්බන්ධයක් නැතත්, ඔහුගේ සහෝදරයන් හා ඥාතින් තම සහෝදරයාගේ දේශපාලන බලය අයුතු ලෙස පාවිච්චි කරමින් බලහරුව වනාන්තරය විනාශ කරමින් ඇත්තේ වසර ගණනාවක සිට බව වන නිලධාරීහුද කියති.
වැල්ලවාය ප්‍රාදේශීය දේශපාලනඥයාගේ සහෝදරයා 2021.09.23 වැනිදා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කර තිබුණේ බලහරුව කැළයෙන් අක්කර 03කට වඩා අල්ලාගෙන එහි කැළෑව විනාශ කිරීමේ චෝදනාව යටතේය.
2024.08.05 වැනිදා බලහරුව කැළයෙන් අක්කර 04ක් පමණ කපා විනාශ කිරිමේ වරදට ප්‍රාදේශීය දේශපාලනඥයාගේ තවත් සහෝදරයකු වන සංරක්ෂණ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම විනාශය වෙනුවෙන් එම පුද්ගලයාට රුපියල් 5000කට දඩයක් හා රුපියල් 44954ක අලාබයක් ගෙවීමට අධිකරණයෙන් නියෝගකර තිබුණි.
බලහරුව කැළයේ, කෙන්හත ප්‍රදේශයේ අක්කර 02 පමණ කැළෑවක් අල්ලාගෙන විදුලිවැටක් ඉදිකිරිම හා පස් බැම්මක් සැකසීම සම්බන්ධයෙන් බලහරුව, ආනන්දපුර ප්‍රදේශයේ පදිංචි අයකු වන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබුණේ 2024.10.25 වැනිදාය.
2025.07.18 වැනි දින වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් බලහරුව වනයෙන් අක්කර 03ක් පමණ නීති විරෝධි ආකාරයෙන් හෙළිකිරීම සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර දකුණ ප්‍රදේශයේ පුද්ගලයකු වැල්ලවාය අඩවි වන කාර්යාලයෙන් අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් 5000ක දඩයක් හා එක්ලක්ෂ හැට දෙදහස් හයසිය පනහක දඩයක් අධිකරණයෙන් නියමකර තිබුණි. එමවරද කළ පුද්ගලයාට ඇප දී බේරාගෙන ගොස් තිබුනේ වැල්ලවාය ප්‍රාදේශීය දේශපාලනඥයාගේ සහෝදරයෙකි.
ඉන් පසුව 2025.08.19 දිනයේද, බලහරුව කැළයේ කෙන්හත ප්‍රදේශයේ කැළෑ ඉඩම් හෙළිකළ සිව් දෙනකු වන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර තිබුණි.
එමෙන්ම 2025.08.20 වැනිදා වැල්ලවාය ප්‍රාදේශීය දේශපාලනඥයාට සමීප පුද්ගලයන් වැටහිර කන්ද රක්ෂිතයේ පරිවාර වනාන්තරයක් වන බලහරුව කෙන්හත ප්‍රදේශයේ ඩෝසර් යොදා කැළෑ එළිකරන බවට ලද තොරතුරක් මත වන නිලධාරින් විසින් වැටලීමක් කර තිබු අතර එහිදී සැකකරුවන් වන නිලධාරින්ගෙන් මිදී පළාගොස් තිබුණි. වන නිලධාරින් පවසන්නේ පලාගිය සැකකරුවන් එවර කෙන්හත ප්‍රදේශයේ කැළෑ අක්කර 30 කට ආසන්න ප්‍රමාණයක් විනාශකර තිබු බවයි.
මේ කාරණා අනුව වැටහිරකන්ද රක්ෂිතයේ පරිවාර වනාන්තරයක් වන බලහරුව රක්ෂිතයට වැඩි හානියක් හා බලපෑමක් එල්ලවී ඇත්තේ වැල්ලවාය ප්‍රාදේශීය දේශපාලනඥයාගේ පවුලේ සමීපතමයන්ගෙන් බව ඉතා පැහැදිලිය.
දහයියාගල යනු වනජිවි දෙපාර්තමේන්තුව සතු අභය භුමියකි. වැටහිරකන්ද රක්ෂිතය හරහා උඩවලව වනෝද්‍යානයට පැමිණෙන වනඅලි සිය ගණනින් බෝගහපට්ටිය දක්වා ගමන් ගන්නේ මෙම පටු අභය භුමිය හරහායි. උඩවලව වනෝද්‍යානයේ සිට බෝගහපට්ටිය යෝජිත රක්ෂිත වනාන්තරය දක්වා දිවෙන දහයියාගල වනඅලි කොරිඩෝව අභය භුමියක් ලෙස ප්‍රකාශයට පත්කරන ලද්දේ 2002 වසරේ ජුනි මස 07 වැනිදා අංක 1239/28 දරන ගැසට් නිවේදනයෙනි. එම ගැසට් පත්‍රයට අනුව මෙම අභය භුමියේ විශාලත්වය හෙක්ටයාර 2685කි. එවකදී මෙය අභය භුමියක් ලෙස ප්‍රකාශයට පත්කරන ලද්දේ වනාන්තර ඛණ්ඩනය වළකා, වනඅලි කොරිඩෝවක් ලෙස මෙය ආරක්ෂාකර ගැනීමේ අවශ්‍යතාව හේතුවෙනි. එහෙත් වර්තමානයේදී අභය භුමිය සඳහා එදා ගැසට්කළ ඉඩම්වලින් අඩක් පමණම මේවනවිට විවිධ පිරිස් අත්පත් කරගෙන ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති.
පානම කුටුම්බිගල අභය භුමිය කුමන ලුණුගම්වෙහෙර උඩලව යන ජාතික වනෝද්‍යානවල පමණක් නොව වැල්ලවායේ වන්දම දෙමලිය ප්‍රදේශවල අවශේෂ කැළෑවල සිටින වන අලි පවා බෝගහපට්ටිය, බෝගහ පැලැස්ස, රජවක, සමනල වැව, වනාන්තර දක්වාත් යන්නේ දහයියාගල අලිමංකඩ හරහාය. සත්වවේදීන් පවසන්නේ වසරකට වනඅලි 600-800ක් පමණ මෙම අලිමංකඩ භාවිතයට ගන්නා බවයි.
“කරමැටි කියන ඛනිජය වන අලින්ගේ, ප්‍රජනක හා ජෛවීය ක්‍රියාවලට ඉතා වැදගත්වන ඛනිජයක්. මෙම ඛනිජ නිධි ලංකාවේ තියෙන්නේ වනාන්තර කිහිපයක විතරයි. ඒ අතරින් බෝගහපට්ටිය වනාන්තරයේ තිබෙන ඛනිජ නිධිය හරි වැදගත්. අදාළ කාලවලදී මෙම ඛනිජ අවශ්‍යතාව සපුරගන්න වන අලි විශාල ප්‍රමාණයක් දහයියාගල කැළෑ කොටස හරහා බෝගහපට්ටිය දක්වා එනවා. ඒක කරන්නේ අනාදිමත් කාලයක ඉඳලයි. අනික ඒ ගමනෙදී කාලයක් රැඳී ඉන්න අවශ්‍ය හැම පාරිසරික සාධකයක්ම මේ භුමියේ තියෙන නිසා වනඅලි බෝගහපට්ටියට එන්න ලොකු කැමැත්තක් තියෙනවා. ඒක නතර කරන්න විදුලි වැටකට, අගලකට බැහැ. එහෙම කරන්න කවුරු හරි උත්සහ කරනවනම් ඒකෙන් ඔය ප්‍රදේශයේ විතරක් නෙමෙයි බෝගහපැලැස්ස, බෝගහපට්ටිය, සොරගුනේ, වෑලිය, පතහා, දඩයම්පොළ, අක්කර සියය වෙලන්විට, කුමාරතැන්න, රජවක, සමණලවැව, බලංගොඩ, කපුගල, පල්ලේබැද්ද කොලොන්ගස්තැන්න, දියලුම, හිවැල්කදුර, ගම්පහ, මිරිස්වත්ත, නිකපොත, පුනාගල, කොස්ලන්ද, අම්පිටිකන්ද, කියන ප්‍රදේශ වගේම, හම්බේගමුව, තණමල්විල, වැල්ලවාය ප්‍රදේශයේ තියෙන අලි - මිනිස් ගැටුම දරාගන්න බැරිතරම් උග්‍රවිය හැකියි’’ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරන ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ පරිසරවේදී සජීව චාමිකර මහතා පෙන්වා දෙයි.
කලක් මොණරාගල දිස්ත්‍රික්කයේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු මෙම අලි කොරිඩෝව සම්පූර්ණයෙන් වසා දමමින් උඩවලව ජාතික වනෝද්‍යානයට නැගෙනහිර දෙසට වන්නට පිහිටි පොකුණුතැන්න ප්‍රදේශයේ සිට කවුඩලිආර දක්වා පිහිටි කිලෝමීටර් 06ක් පමණ දිගින් යුතු ජීප් රථ මාර්ගය දිගේ විදුලි වැටක් ඉදිකිරීමට උත්සාහ කළේ සම්පුර්ණයෙන්ම අලි මංකඩ අහුරා දමමිනි.
“මොණරාගල දිස්ත්‍රික්කයේ හිටපු මේ නියෝජ්‍ය ඇමැතිවරයා ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් සහ එවකට තණමල්විල ප්‍රාදේශිය ලේකම්වරයා ඇතුළු රජයේ නිලධාරින් පිරිසක් එකතුව ඉදිකරන්න උත්සාහකළ, මේ අනීතික විදුලිවැට ඉදිකරන්න එදා අනුමැතිය දුන්නේ එවකට සිටි පරිසර ඇමතිවරයාය.
ඒ අනුමැතියට අනුව මොණරාගල දිස්ත්‍රික්කයේ සිටි නියෝජ්‍ය ඇමැතිවරයාට අවශ්‍ය වුණා දහයිලාගල අලි කොරිඩෝව සම්පූර්ණයෙන්ම වහලා ඒ ඉඩම් නෙටුල, මහ නෙටුල, මහ පැලැස්ස, කන්ඩියපිට, කොටවෙහෙර මංකඩ, අලුත් වැව, පොකුණුතැන්න, වගේ ගම්වල තමන්ගේ පාක්ෂිකයන් අතරේ බෙදලා දෙන්න. එහෙත් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින් සහ පරිසර සංවිධාන මේ විනාශකාරී වැඩේට විරුද්ධ වූ නිසා නියෝජ්‍ය ඇමැතිවරයට එදා ඒ වැඩේ කරගන්න බැරිවුණා. එහෙත් ඉන් පස්සේ ජනාධිපති ගෝඨාභයගේ ආණ්ඩු කාලේ ඔහු නැවත වරක් ජනාධිපතිවරයාගේ ගම සමග පිළිසඳරක් වැඩසටහන මේ ප්‍රදේශයේ පවත්වමින් ජනාධිපතිවරයා හරහා මේ ඉඩම් නිදහස් කරගෙන තමන්ගේ පාක්ෂිකයන් අතර බෙදලා දෙන්න උත්සාහ කළා. ජනාධිපතිවරයා එහිදි මේ මිනිසුන්ගේ සහ දේශපාලනඥයන්ගේ කීමට රැවටිලා, මේ කැළෑ ඉඩම් ගොවියන්ට බෙදා දෙන්න කටයුතු කරන්න කියලා අදාල නිලධාරීන්ට උපදෙස් දුන්නා. ඒ තීරණයෙන් පස්සේ, අලි මංකෙඩ් ඉඩම්වලට ඇහැගහගෙන සිටි මිනිස්සු සියගණනක් පහුවදාම කැළෑ ඉඩම් අල්ලන්න ගත්තා. එහෙත් ඉන් පස්සේ ජනාධිපතිවරයා නැවත වරක් කැළෑවලට මිනිස්සුන්ට ඇතුල්විම තහනම් කළේ තමන් ඒ මොහොතේ කරපු වැරැද්ද නිවැරැදි කරමිනුයි. ඒ නිසා දැන්වත් මේ ගැටලුවට තිරසාර විසදුමක් දෙන්න වත්මන් ආණ්ඩුව හෝ කටයුතු කළයුතුයි. උඩවලව වනඅලි කළමනාකරණ මධ්‍යස්ථානයේ වනඅලි පර් යේෂක සමීර වීරතුංග මහතා තවදුරටත් පවසන්නේය.
දහයියාගල අභය භූමියේ අක්කර 15000 කට හිමිකම් කියන හිමිනමක්
“මෙම ඉඩම විහාරස්ථානය සතු සාංඝික දේපලකි .කිසිවකු මෙහි ඇතුල්වීම තහනම්’’ යනුවෙන් පසුගිය දවසක දහයියාගල අභයභුමියේ බැනරයක් ප්‍රදර්ශනය කර තිබුණි. මෙලෙස මෙම අභයභුමියට අයිතිවාසිකම් කීමට ඉදිරිපත්ව තිබුණේ හිමිනමකි. උන් වහන්සේ පවසන්නේ තම විහාරස්ථානයට මෙම අභය භුමිය ඇතුළුව දහයියාගල ප්‍රදේශයේ අක්කර 15000කට පමණ හිමිකමක් ඇති බවය.
“මෙම ඉඩම අපේ විහාරස්ථානයට සන්නසකින් හිමිවුවක්. අපිට මෙහි අක්කර 15000කට වඩා තියෙනවා. 1950 කාලයේ මේ ඉඩම් මගේ නායක හාමුදුරුවන් ගමේ අයට බදු දුන් බවට සාක්ෂිත් අප සතුව තියෙනවා. මේ පන්සල් ඉඩම රජය මැදිහත්වෙලා අපිට මැනලා වෙන්කරලා දෙන්න කියලා ප්‍රාදේශිය ලේකම් තුමාගෙන්, මිනින්දොරු එකෙන් අපි කාලයක ඉඳලා ඉල්ලීම් කළත් වැඩක් වුණේ නැහැ. ඒ නිසා අපි මෙහි කොටසක් පෞද්ගලික මිනින්දෝරුවකු ලවා මැනුමක් කළා. ඒ පිඹුරත් අප සතුව තිබෙනවා. මේ භූමියේම සහිත කැළෑවට අපේ තිබෙන අයිතිය අතහරින්නත් අපි සුදානම් නැහැ’’ උන් වහන්සේ අපකළ විමසිමකදී පැවසූහ.
සමස්ත දහයියාගල අභය භුමියේම විශාලත්වය අක්කර හත්දාහක් පමණය. එහෙත් මෙම හිමිනම පවසන්නේ තමන්ට මෙහි අක්කර 15000ක හිමිකමක් ඇති බවය. උන් වහන්සේ ගම්වැසියන්ට පවසා ඇත්තේ මෙම ඉඩම් නිරවුල්කර ගැනිමෙන් පසු ජපන් ආයෝජකයෙක් සමග එකතුව මෙහි කෘෂි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අදහස්කර ඇති බවය. මෙම අභයභුමියේ ඉඩම්වලට අලුතින් අයිතිවාසිකම් කීමෙන් දහයියාගල අභයභුමිය සම්බන්ධයෙන් අලුත් අර්බුදයක් මතුව තිබේ.
අපි මේ සම්බන්ධව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දහයියාගල අභයභුමිය ඇතුළත්, උඩවලව ජාතික වනෝද්‍යානයේ කල්තොට අඩවිය භාර, වනජිවි අඩවි ආරක්ෂක එන්.ඒ අජිත්කුමාර මහතාගෙන් විමසිමක් කළෙමු. ඒ මහතා මෙසේ පැවසුවේය.
“පහුගිය දවසක ප්‍රදේශයේ පංසලක හිමිනමක් දහයියාගල අභයභුමියේ දැන්වීමක් ප්‍රදර්ශනය කරලා තිබුණා, ඒ අභයභුමිය සහිත කැළෑ ඉඩම අයිති තමන්වහන්සේටයි. ඊට ඇතුල්වීම තහනම් කියලා. කොහොම නමුත් ඊට දවස් කිහිපයකට පස්සේ ඒ හාමුදුරුවොම ඒ දැන්වීම් ගලවා ඉවත්කරගෙන ගිහින් තිබුණා. දහයියාගල කියන්නේ 2002 වසරෙදි ගැසට්කළ වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අභය භුමියක්. ඒ නිසා මම මේ සම්බන්ධයෙන් මගේ ඉහළ නිලධාරින් දැනුවත්කළා. මේ පිළිබඳව වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේ කරුණු ඉදිරිපත්කරලා, ඉඩමට ඇතුල් වෙන්නන් අත්අඩංගුවට ගන්න නියෝගයක් ලබාගත්තා. ඒ නිසා දැන් කවුරුවත් ඉඩම් අල්ලන්න අභයභුමියට ඇතුල්වුණොත් මොන තරාතිරමක කෙනෙක් වුණත් අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත්කරනවා.
දහයියාගල සහ බෝගහපට්ටිය වනාන්තර උඩවලව ජාතික වනෝද්‍යානයට එකතුකරන්න යෝජනාවක්
දහයියාගල අභයභුමියේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ වැව් 28ක් පිහිටා තිබේ. එම වැව් උඩවලව වනෝද්‍යානයේ හා ඒ ආශ්‍රිත හුදෙකලා වනාන්තරවල වෙසෙන වන අලි තම පානීය ජල අවශ්‍යතා සපුරාගන්නා ජල මුලාශ්‍රයි. මින් පොකුණුතැන්න වැව, ගිනිමුලආර වැව, ගිනිඅඟවෙළ වැව හා දිගන්පැලැස්ස වැව, දහයියාගල අභයභුමියේ ඇති වන අලිගේ ප්‍රධාන ජල ප්‍රභවවේ. එමෙන්ම බෝගහ පැලැස්ස, බෝගහපට්ටිය,සොරගුනේ වැනි ප්‍රදේශ, උඩවලව, මව්ආර, ඇතුළු කලාපයේ ඇති විශාල ප්‍රමාණයේ ජලාශවල හා තවත් ලොකු කුඩා වැව් විශාල ප්‍රමාණයක පෝෂක කලාපයද වෙයි. මෙහි කැළෑ එළිපෙහෙළි වීම එම ජලාශවල දීර්ඝකාලින පැවැත්මටද ඉතා අහිතරකර බව පරිසරවේදීහු කියති.
දහයියාගල සම්බන්ධයෙන් කාලයක සිට තිබෙන මෙම ගැටලුව පිළිබඳව අදහස් දක්වන මොණරාගල සොබා පදනම සංවිධානයේ රවීන්ද්‍ර වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.
“බෝගහපට්ටිය සහ දහයියාගල කියන්නේ දශක කිහිපයක සිට මානව ක්‍රියාකාරකම් නිසා පීඩා විඳින වනාන්තර දෙකක්. බෝගහපට්ටිය කියන්නේ අදටත් යෝජිත රක්ෂිතයක් විතරයි. එහෙත් මේක සංරක්ෂිත වනාන්තරයක් ලෙස ගැසට් විය යුතුම වනාන්තරයක්. ඒත් අවාසනාවකට තවම එහෙම ගැසට්වෙලා නැහැ. ඒ නිසා මේ කැළෑ ඉඩම් විවිධ පුද්ගලයන්ගේ ග්‍රහණයට ලක්වෙලා තියෙනවා. පහුගිය කාලේ ජනාධිපති උපදේශකවරයකුත් මේ කැළේ ඉඩම් අල්ලගෙන තිබුණා. ඒ වගේම දහයියාගල අභය භුමියක් වුණාට ඒක ඇතුලේ සිදුවන මිනිසුන්ගේ ක්‍රියාකාරකම් කිසිවක් අඩුවෙලා නැහැ. අදටත් මේ අභයභුමිය වටේ ඉන්න අය උත්සාහ ගන්නේ අභයභුමියේ ඉඩම් ටික අල්ලගන්නයි. කැළෑ ඉඩම් අල්ලන එක පාලනය කරන්න වනජිවි එකටත් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අභයභුමියක් ඇතුළේ මිනිස් ක්‍රියාකාරකම් පාලනය පහසු දෙයක් නොවන නිසයි. ඒ නිසා අපි කියන්නේ බෝගහපට්ටිය වෙනමත් දහයියාගල වෙනමත් අභයභුමි හෝ රක්ෂිත ලෙස ගැසට් නොකර දහයියාගල සහ බෝගහපට්ටිය කියන වනාන්තර දෙකම උඩවලව ජාතික වනෝද්‍යානය ඇතුලට අරන් උඩවලව ජාතික වනෝද්‍යානය තවත් පුළුල් කරලා ගැසට් කරන්න කියලයි. එහෙම වුණාම මේ වනාන්තර පද්ධතියම එකක් නිසා මෙහි ජිවත්වන වනජිවින්ගේ ආරක්ෂාව වගේම වනෝද්‍යානයක් නිසා කැළෑවල ආරක්ෂාවත් තහවුරු වෙනවා. උඩවලව ඇතුළු ලොකු කුඩා විශාල ජලාශ ප්‍රමාණයක පෝෂක ප්‍රදේශ සංරක්ෂණය වෙනවා විතරක් නෙමෙයි මේ ප්‍රදේශය වන අලි බහුල කලාපයක් නිසා උඩවලව සංචාරක කලාපය පුළුල්කරලා සංචාරක කර්මාන්තය දියුණු කිරීමෙන් රටේ ආර්ථිකය විතරක් නෙමෙයි දහයියාගල අවට ගම්මානවල ජීවත්වන ජනතාවගේ ආර්ථිකයත් ග්‍රාමීය ආර්ථිකයත් ශක්තිමත් කරන්න පුළුවන්.
(*** මොණරාගල - නයනජිව බණ්ඩාර)
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වැටහිරකන්ද - දහයියාගල වනසන දේශපාලන අම්බරුවෝ
SAMAN Sunday, 21 September 2025 06:07 PM
දහයියාගල බෝගහ පට්ටිය උඩවලව වනාන්තරයට එක්කර එය රක්ෂිත භූමියක් බවට පත්කිරීම තුළ මිනිස් ක්‍රියාකාරකම් අවම වනු ඇති...
akash Saturday, 27 September 2025 09:19 AM
ඔය දේශපාලුවාගේ නම සහ පක්‍ෂය දාන්න. පක්‍ෂ නායකයන්ට ලිඛිතව දැනුම් දෙන්න මේ අය ගැන. මොන දේශපාලනයේ හිටියත් තමන් කෙලින්ම සම්බන්ධ නූනත් වැරද්ද කරන්න ඉඩ ඇරලා නිකම් ඉඳීමත් වැරැද්දක්. පොලොන්නරුව පැත්තේ 1990 ගනන් වල මහවැලිය කෑවේ මහවැලි ඇමතිගේ සහෝදරයෙක්. තව එක්කෙනෙක් පොඩි හාල් මෝල් අයිතිකරුවන් නැති කරා. හාල් වැලි දෙකෙන්ම ඔවුන් ස්ව්‍යන්පෝශිත වෙන අතරේ සහෝදරයා පවුලටම හොඳට සැලකුවා. රාජ්‍ය නායිකාව දැනගෙන හිටියද නැද්ද දන්නේ නෑ. පස්සේ මහවැලි ඇමැතිකමෙන් අයින් කරලා සෞඛ්‍ය ඇමැතිකම දුන්නේ. මොකක් වුණත් ඒ ඇමැතිගේ සහෝදර පවුලම හිතන්න බැරි ගානට දියුණු වු පළාත කොහොම වුනත් (රාජපක්‍ෂලාට ඒවට කිට්ටු වෙන්නවත් බෑ හොඳට හිතුවොත්). ඉතින් දැන්වත් ඇස් ඇරල ඔය වැල්ලවායේ දේශපාලුවාව මොන පක්‍ෂයේ වුනත් කමක් නෑ පවුල හදන්න කියලා පලාත නැති කරන එක නවත්වන්න. නැත්නම් මහවැලියට වඩා විනාශයක් වෙයි.