IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලංකාව අවස්ථා අල්ලා ගැනීමට අසමත්ද?

ගෙවී ගිය සිවු වසරක කාලයේ, භූ දේශපාලනික, ආර්ථික සහ තාක්ෂණික විපර්යාස පෙර දශක තුන තුළ නොවූ විරූ වේගයකින් ඉදිරියට ගොස් ඇත. අද අප මුහුණ දෙන ලෝකය, අප කලින් දැන සිටි ලෝකයට වඩා බෙහෙවින් වෙනස් වී තිබේ.

යුරෝපයට නැවත වරක් යුද්ධයක් පැමිණ ඇත. ඒ, යුරෝපා මහද්විපයේ යළි යුද්ධයක් ඇති නොවනු ඇත යන උපකල්පනය බිඳ දමමිනි. විසඳුමක් නොපෙනෙන මැද පෙරදිග අර්බුදවලට, කලාපීය අසල්වැසි රටවල් පමණක් නොව, සෙසු රටවල් ද මැදිහත් වී සිටී. අප්‍රිකාවේ බටහිර සිට නැගෙනහිර දක්වා කුමන්ත්‍රණ, කැරලි ගැසීම් ඇතුළු නොයෙක් විදියේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවෙයි. රාජ්‍ය ආයතන දුර්වල වී බිඳ වැටෙයි. ඒ සමග මානුෂීය ඛේදවාචක නිර්මාණය වී ඇති අතර, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදුවල බලපෑම, ගෝලීය වශයෙන් බොහෝ ක්ෂේත්‍රවලට තර්ජනයක් වී අවසන්ය.

ඒ අතරම, ලෝකය සමබරව පවත්වාගෙන යෑමට මැදිහත් වී, ආරක්ෂකයන් ලෙස කටයුතු කරන ජගත් ආයතන ද මේ වනවිට දුර්වල වෙමින් පවතී. එම ආයතන කෙරෙහි ඇති විශ්වාසය සෙමින් හීන වෙමින් යයි. තීරණාත්මක ලෙස ක්‍රියා කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගැටලු‍ක් වී ඇත. ලෝක වෙළෙඳ සංවිධානය දුර්වලය. ගෝලීය උණුසුම ඉහළ යෑමට අදාළව, දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සාමූහික වගකීමක් නොව, ඒ ඒ රටවල අවශ්‍යතා අනුව වෙනස් වී ඇත. එක් වී තීන්දු තීරණ ගැනීම් විරල වී ඇත. ඒ.අයි. කෘත්‍රිම බුද්ධිය, ක්වොන්ටම් පරිගණකකරණය සහ උපාය මාර්ගික සැපයුම්දාම මුල්කර ගනිමින්, නව යුද පිටියක් නිර්මාණය වී අවසන්ය. තව දුරටත් රට රටවල් භූමිය වෙනුවෙන් හෝ මතවාද වෙනුවෙන් හෝ පමණක් තරග කරන්නේ නැත. තරග කරන්නේ දත්ත, ඛනිජ ද්‍රව්‍ය, බලශක්ති සහ තාක්ෂණික ආධිපත්‍යය සඳහාය.

නිරවි යුද්ධයෙන් පසු, දේශසීමා රහිත ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදයක් සහ නිදහස් වෙළෙඳපොළක් සඳහා වූ පොරොන්දුව දැන් වාෂ්ප වී ගොසිණි. ඒ වෙනුවට, දේශපාලන මෙන්ම ආර්ථික එදිරිවාදිකම්, උපාය මාර්ගික තරගකාරීත්වය හිස ඔසවා නව යුගයක් නිර්මාණය කර ඇත. ප්‍රබල රටවල් අතරේ බල තරගය උත්සන්න වෙමින් පවතී. මෙය කලාපීය වශයෙන් ගැටලු‍ රැසකට හේතුවය. මෙම තත්වය කුඩා රටවලට, සංකීර්ණ මෙන්ම බෙදී ගිය ජාත්‍යන්තර භූ දර්ශනයක් නිර්මාණය කර දී ඇත.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු නව නීතිමය රාමුවක් මත වෙනස් වුණු ලෝකය, දැන් දුර්වල වෙමින් පවතී. අනාගතය තීරණය කිරීම, ඇමෙරිකා එක්සත් ජනපදයට හෝ චීනයට හෝ හැකි වී නැත. ඒ වෙනුවට, ගෝලීය බටහිර, ගෝලීය නැගෙනහිර නැතිනම් ගෝලීය පෙරදිග සහ ගෝලීය දකුණ අතර ඇති ​ත්‍රෛපාර්ශ්වීය තරගය මුල්කොට ගනිමින් නව භූ දේශපාලනික යථාර්ථයක් හැඩ ගැස්වෙමින් පවතී.

ඉන්දු-පැසිෆික් කලාපය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර උපාය මාර්ගික තරගයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත. චීනය සිය ආර්ථික බලපෑම, හමුදා ශක්තිය සහ දේශපාලන බලය පුළුල් කරද්දී, ඇමෙරිකා එක්සත් ජනපදය නිදහස්, විවෘත සහ නීති මත පදනම් වූ කලාපීය පිළිවෙළක් තහවුරු කිරීමට උත්සාහ කරයි. මෙම එදිරිවාදිකම දැන් සමස්ත කලාපය පුරා ආරක්ෂාව, රාජ්‍යතාන්ත්‍රික කටයුතු, වෙළෙඳාම සහ තාක්ෂණය හැඩ ගස්වයි. තායිවාන් සමුද්‍ර සන්ධිය සහ දකුණු චීන මුහුද වැනි මත භේදයට ලක් වුණු කලාප, ගැටුම් ඇතිවීමේ සහ ගෝලීය ආර්ථික බිඳ වැටීමේ අවදානම මතු කරයි.

ශ්‍රී ලංකාව කුඩා දූපත් ජාතියක් වුවද, එයට සුවිශේෂී හා ප්‍රබල වාසියක් ඇත. එනම් එහි භූගෝලීය පිහිටීමය. ශ්‍රී ලංකාව ලෝකයේ වඩාත්ම කාර්ය බහුල, නැගෙනහිර-බටහිර සමුද්‍රීය කොරිඩෝරය මධ්‍යයේ පිහිටයි. ගෝලීය තෙල් නැව්ගත කිරීම්වලින් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් සහ සමස්ත බහාලු‍ම් ප්‍රවාහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් රැගෙන යන මුහුදු මාර්ගය වැටී ඇත්තේ ද මෙම නැගෙනහිර-බටහිර සමුද්‍රීය කොරිඩෝරය ඔස්සේය. සැපයුම් දාම, නාවික මාර්ග සහ බලශක්ති මාර්ග උපායමාර්ගික වත්කම් බවට පත්වෙමින් පවතින යුගයක, ශ්‍රී ලංකාවේ පිහිටීම සුවිශේෂී වෙයි.

මෙමගින් ශ්‍රී ලංකාව, සෑම ප්‍රධාන බලවත් රාජ්‍යයකටම උපාය මාර්ගිකව වටිනා තැනකි. ආසන්නම අසල්වැසියා වශයෙන්, ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය ඉන්දියාවට අතිශය වැදගත්ය. චීනයේ එක් මාවතක් එක් තීරයක්’ නමැති ගෝලීය යටිතල පහසුකම් සහ ආර්ථික සහයෝගීතා උපාය මාර්ගික වැඩපිළිවෙළට අත්‍යවශ්‍ය සාධකයකි. එය සමුද්‍රීය සේද මාවත පුළුල් වෙළෙඳාම් සහ බලශක්ති ජාල වෙත සම්බන්ධ කරයි. ඇමෙරිකාවට, ශ්‍රී ලංකාව වැදගත් වන්නේ ශ්‍රී ලංකාව ඉන්දු-පැසිෆික් උපාය මාර්ගයේ කේන්ද්‍රස්ථානය වීම නිසාය.

ලෝකයේ, මහ බලවතුන්ට අමතරව ජපානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, දකුණු කොරියාව සහ තුර්කිය වැනි මධ්‍යම බලවතුන් ද සිටී. මෙම රටවල් ඉන්දීය සාගරය පුරා ආර්ථික, සමුද්‍රීය සහ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වර්ධනය කර ගනිමින් සිටී. එහිදී ශ්‍රී ලංකාව ඔවුන්ට වැදගත් කේන්ද්‍රස්ථානයකි. ශ්‍රී ලංකාව ස්ථාවර හවුල්කරුවකු කර ගැනීමටත්, සැපයුම් මධ්‍යස්ථානයක් සහ කලාපීය සම්බන්ධතාව සඳහා වේදිකාවක් ලෙස පවත්වාගෙන යෑමටත් ඔවුන් කටයුතු කරයි. ඒ අනුව, ශ්‍රී ලංකාව හුදෙක් ජාතික රාජ්‍යයක් ලෙස නොව, ගෝලීය සහ කලාපීය ක්‍රියාකරුවන්ගේ අවශ්‍යතා සපුරන භූ දේශපාලනික සන්ධිස්ථානයක් බව පැහැදිලිය.

මේ ආකාරයට උපාය මාර්ගික වටිනාකම තිබියදීත් ශ්‍රී ලංකාව භූගෝල විද්‍යාව අර්ථවත් භූ දේශපාලනික බලපෑමක් බවට පරිවර්තනය කිරීමට අඛණ්ඩව අරගල කරයි. පිහිටීම වැදගත් සාධකයක් වුවත්, එය පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. රටේ නිතර සිදුවන දේශපාලන පෙරළි, කෙටි කාලීන තීරණ ගැනීම්, ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මත වීමේ දුර්වලතා සහ තරගකාරී දේශීය ප්‍රමුඛතා හේතුවෙන් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මත ගැටුම් හටගනී. එය දිගුකාලීන ආයෝජන අධෛර්යවත් කරන සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර විශ්වසනීයත්වයට හානි කරන අඛණ්ඩ අවිනිශ්චිතතාවක් නිර්මාණය කරයි. පිහිටීම අතින් වාසි සහගත තත්වයක් පෙන්නුම් කළත්, ශ්‍රී ලංකාවට ආර්ථිකමය වශයෙන් ආරක්ෂාව අතින් සහ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අවාසියකි.

ඉදිරියේ දී කළ යුතු වන්නේ මෙම චක්‍රය බිඳ දැමීමය. අනාගතයට බලපාන ප්‍රතිඵල හැඩගැස්වීමට නම්, ශ්‍රී ලංකාව, ජාත්‍යන්තරයට උපාය මාර්ගික හවුල්කරු​වකු විය යුතුය. මේ සඳහා දේශීය ආර්ථික පදනම ශක්තිමත් කිරීම, දිගුකාලීන විදේශ ප්‍රතිපත්ති ප්‍රමුඛතා සැකසීම සහ සැකයෙන් තොරව විශ්වාසයෙන් යුතුව සාකච්ඡා කිරීමට අවශ්‍ය ආයතනික ස්ථාවරත්වය ගොඩනැගීම කළ යුතුය. එවිට පමණක් ශ්‍රී ලංකාවට සිය පිහිටීම දිගුකාලීන බලපෑමක් බවට පත් කළ හැකි වනු ඇත. දිගුකාලීන ආරක්ෂාව තහවුරු කර, සමෘද්ධිය වැඩි දියුණු කර, ලෝකය තුළ පිළිගත් ස්ථානයක් සුරක්ෂිත කර ගැනීමට ඒ අනුව ශ්‍රී ලංකාවට හැකි වනු ඇත.

ශ්‍රී ලංකාව වැනි රටවලට ඇති අභියෝගය රාජ්‍ය තාන්ත්‍රික සමතුලිතතාවකින් පවත්වා ගැනීමය. ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සහ චීනයෙන් ආර්ථික අවස්ථා උපයෝගීකර ගනිමින්, ඒ අතරම උපාය මාර්ගික ස්වාධිපත්‍යය ආරක්ෂා කර ගැනීම සහ නොසැලකිලිමත් යැපීම වළක්වා ගැනීමට උත්සුක විය යුතුය. ශ්‍රී ලංකාවේ වෙළෙඳාම මත පදනම් වූ ආර්ථිකය, ඉන්දීය සාගරය පුරා සහ පුළුල් ඉන්දු-පැසිෆික් කලාපය හරහා ඇති ස්ථාවර, නීති මත පදනම් වූ සමුද්‍රීය මාර්ග මත දැඩි ලෙස රඳා පවතී. එනිසා කලාපීය සාමය සහ විවෘත මුහුදු මාර්ග ජාතික ආර්ථික ස්ථාවරත්වය සඳහා අත්‍යවශ්‍ය වෙයි.

2022 වසරේ ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවේ භූ දේශපාලනික ස්ථාවරය සැලකිය යුතු ලෙස දුර්වල කළේය. රටක විදේශ ප්‍රතිපත්තිය ශක්තිමත් වන්නේ, එය යටින් ඇති ආර්ථික පදනම තරම් පමණි. ආර්ථිකය කඩා වැටෙන විට, ස්වෛරීභාවය විධිමත් නොවන්නේ නම්, එය නිහඬවම සීමා වීමකට ලක් වෙයි. බාහිර ණය දෙන්නන්, ද්විපාර්ශ්වික ණය හිමියන් සහ මහා බලවතුන්ගේ ආයෝජන මත ශ්‍රී ලංකාව රඳා පැවතීම, එහි උපාය මාර්ගික නම්‍යශීලීභාවය පටු කර ඇති අතර ශක්තිමත් ස්ථානයක සිට සාකච්ඡා කිරීමේ හැකියාව සීමා කළේය. කලාපීය න්‍යාය පත්‍ර හැඩගැස්වීම වෙනුවට, අප වැඩි වැඩියෙන් සොයා ගන්නේ අන් අය විසින් සකස් කරන ලද දේවලට අනුගත වීමට සිදුවීමය. ශ්‍රී ලංකාව ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව යථා තත්වයට පත් කර, රාජ්‍ය මූල්‍ය විශ්වසනීයත්වය නැවත ගොඩනගන තුරු, රට සිය අවශ්‍යතා ඉදිරියට ගෙන යෑමට හැකි උපාය මාර්ගික හවුල්කරුවකු වෙනුවට, මහා බල තරගයක කේන්ද්‍රයේ සිටින ඉත්තෙකු බවට පරිවර්තනය වීමේ අවදානමක් ඇත.

ට්‍රම්ප් පරිපාලනය, ශ්‍රී ලංකා අපනයන මත පැන වූ තීරුබදු ක්‍රියාත්මක කළේ වෙළෙඳ සීමා කිරීමක් ලෙස මිස, විශේෂයෙන් ඉලක්ක කළ සම්බාධකයක් හෝ මූල්‍ය සම්බාධකයක් ලෙස නොවෙයි. එසේ වුව ද, මෙම ක්‍රියාමාර්ග රටේ ආර්ථිකයට සැබෑ බලපෑම් ඇති කළේය. ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීම්වල සහ රැකියාවල කොඳු නාරටිය වන ඇඟලු‍ම් ක්ෂේත්‍රය විශේෂයෙන් මෙයට නිරාවරණය විය. ඇමෙරිකා එක්සත් ජනපදය, ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළෙන් සැලකිය යුතු කොටසක් නියෝජනය කරන බැවින්, මෙම තීරුබදු මගින් 2022 වසරෙන් පසු ආර්ථිකය යථා තත්වයට පත්වීමට බාධා කිරීමට සහ අත්‍යවශ්‍ය විදේශ විනිමය ගලා ඒම සීමා කිරීමට තර්ජනයක් එල්ල විය.

ක්ෂණික ආර්ථික බලපෑම්වලට අමතරව, මෙම සිදුවීම මගින් ගෝලීය වෙළෙඳ ප්‍රතිපත්තිවල වෙනස්වීම් හමුවේ ශ්‍රී ලංකාවේ පවතින ව්‍යුහාත්මක අවදානම ඉස්මතු කරයි. මෙයින් පුළුල් උපායමාර්ගික අභියෝගයක් හෙළිදරව් වෙයි. වර්ධනය වූ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාවක් සහ ජාත්‍යන්තර වෙළෙඳ රාමු තුළ ක්‍රියාකාරී මැදිහත්වීමක් නොමැතිව, ශ්‍රී ලංකාවට ගෝලීය ආර්ථික පද්ධතිය තුළ බලගතු ක්‍රියාකරුවකු වීම වෙනුවට සදාකාලිකව ප්‍රතික්‍රියාශීලී රාජ්‍යයක් වීමේ අවදානමක් පවතී.

වර්තමාන ලෝකයේ සිදුවෙමින් පවතින ඉතා වැදගත් භූ දේශපාලනික වෙනසක් වන්නේ, ගෝලීය දකුණ’ ලෙස හඳුන්වන කලාපයේ රටවල් ලෝක කටයුතුවල දී ප්‍රබල බලපෑම් ඇතිකරන මධ්‍යම බලවතුන් ලෙස නැගී සිටීමය. ඉන්දියාව, බ්‍රසීලය, සෞදි අරාබිය, දකුණු අප්‍රිකාව, තුර්කිය, නයිජීරියාව, ඉන්දුනීසියාව සහ මෙක්සිකෝව වැනි රටවල් තවදුරටත් බටහිර රටවල් විසින් ආධිපත්‍යය දරන ක්‍රමයක පැතිවලට කොටු වී නැත. මෙම රටවල් සතු ආර්ථික ශක්තිය, විශාල ජනගහනය, තාක්‍ෂණික අපේක්ෂාවන් සහ රාජ්‍ය තාන්ත්‍රික විශ්වාසය හේතුවෙන් වෙළෙඳාම සහ මූල්‍ය කටයුතුවල සිට දේශගුණ පාලනය සහ ආරක්‍ෂක රාමු දක්වා වූ ගෝලීය ආයතන ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව ඔවුන් සතුය. උදාහරණ ලෙස, ඉන්දියාව ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ප්‍රධාන ආර්ථිකය වන අතර ජී 20 සහ ඉන්දු-පැසිෆික් කලාපයේ ප්‍රධාන චරිතයකි. බ්‍රසීලය ගෝලීය පරිසර සහ කෘෂිකාර්මික ප්‍රතිපත්ති හැඩගස්වයි. සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලශක්ති භූ දේශපාලනය නැවත අර්ථකථනය කරන අතර ආසියාව සහ අප්‍රිකාව පුරා විශාල වශයෙන් ආයෝජනය කරයි. දකුණු අප්‍රිකාව සහ නයිජීරියාව මහාද්වීපික දේශපාලනයට, සාම සාධක මෙහෙයුම්වලට සහ සම්පත් රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට බලපෑම් කරයි. තුර්කිය බටහිර ආසියාවේ, මධ්‍යම ආසියාවේ සහ ගෝලීය මැදිහත්වීම්වල ප්‍රධාන චරිතයක් බවට පත්ව ඇත.

ගෝලීය පරිවර්තනය මධ්‍යයේ ශ්‍රී ලංකාව උපාය මාර්ගික සංවාදයෙන් බොහෝ දුරට බැහැරව සිටී. අප ජාත්‍යන්තර සමුළුවලට සහභාගී වන නමුත්, ඒවායේ න්‍යාය පත්‍ර හැඩගස්වන්නේ කලාතුරකිනි. දීර්ඝ කාලීන ජාතික උපාය මාර්ගයක් පැහැදිලිව ඉදිරිපත් කරන්නේ කලාතුරකිනි. රටට පැහැදිලි හැකියාවක් ඇතත්, එම හැකියාව බලපෑමක් බවට පත් කිරීමට අවශ්‍ය උපාය මාර්ගික පැහැදිලිකමක් සහ රාජ්‍ය තාන්ත්‍රික ස්ථාවරත්වයක් නැත. භූගෝල විද්‍යාවෙන්, ඉතිහාසයෙන් සහ පොදු සංවර්ධන අභියෝගවලින් ශ්‍රී ලංකාව ගෝලීය දකුණට අයත් වන නමුත්, තවමත් උපායමාර්ගික බරපතළකමෙන් හෝ නායකත්වයෙන් ඊට අයත් නොවේ. ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව හරහා නැගී එන බලවතුන් ගෝලීය පාලනය නැවත අර්ථකථනය කරමින් සිටින මොහොතක, ශ්‍රී ලංකාව පැත්තකට වී සිටීමේ අවදානමක් ඇත.

අපගේ ප්‍රමුඛතා පැහැදිලිව ප්‍රකාශ කිරීමට, සන්ධාන ගොඩනැගීමට සහ ක්‍රියාශීලීව සම්බන්ධ වීමට ඇති හැකියාව ශක්තිමත් නොකළහොත්, අන් අය ජාත්‍යන්තර පිළිවෙළ ප්‍රතිනිර්මාණය කරන මොහොතක අපට ප්‍රේක්ෂකයන් බවට පත්වීමට ඉඩ ඇත. වත්මන් ආර්ථික, ජනගහන සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවණතා පෙන්නුම් කරන පරිදි ගෝලීය දකුණ දිගින් දිගටම නැගී සිටියහොත්, දේශගුණය, වෙළෙඳාම, බලශක්තිය, තාක්‍ෂණය සහ ආරක්ෂාව පිළිබඳ ගෝලීය සාකච්ඡාවලදී එය තීරණාත්මක බලවේගයක් බවට පත්වනු ඇත. එවිට ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකාව සිටින්නේ කොතැනද? අපගේ ශක්තීන් පිළිබිඹු කරන හවුල්කාරිත්ව ගොඩනගා ගනිමින්, නැගී එන මෙම කණ්ඩායම සමඟ අර්ථවත් ලෙස පෙළ ගැසීමට, අපගේම ජාතික ප්‍රමුඛතා ප්‍රකාශ කිරීමට අප තෝරා ගත යුතු අතර, එසේ නොමැතිනම් ශීඝ්‍රයෙන් ප්‍රතිසංවිධානය වෙමින් පවතින ලෝකයක අප හුදෙකලා වනු ඇත.

ගෝලීය වශයෙන් අවුල් සහගත තත්වය ෆින්ලන්තය, සිංගප්පූරුව, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි කඩිසර කුඩා රාජ්‍යවලට ඔවුන්ගේ බලපෑම ඉහළ නංවා ගැනීමට ඉතිහාසයේ අවස්ථා ලබා දී ඇත. ශ්‍රී ලංකාව ද නිවැරැදි අරමුණකින් යුතුව ක්‍රියා කළහොත් මෙම නව භූ දර්ශනය තුළ නැගී සිටීමට හැකියාව ඇත. නාවික හා සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස, ලෝකයේ වැදගත්ම නැගෙනහිර-බටහිර නාවික මාර්ගයේ පිහිටා ඇති බැවින්, නිවැරදි ආයෝජන, නියාමන ස්ථාවරත්වය සහ රාජ්‍ය තාන්ත්‍රික සමතුලිතතාවෙන්, එය සියලු‍ම කණ්ඩායම්වලට සේවය කරන කාර්යක්ෂම, මධ්‍යස්ථ මධ්‍යස්ථානයක් බවට පත් විය හැකිය. එසේම, ඉන්දියානු සාගරයේ රාජ්‍ය තාන්ත්‍රික ’පාලමක්’ ලෙස, ඉන්දු-පැසිෆික් කලාපයේ තරගකාරීත්වය මධ්‍යයේ, ශ්‍රී ලංකාවට සංවාදය, විශ්වාසය ගොඩනැංවීම සහ ගැටුම් වැළැක්වීම සඳහා වූ මධ්‍යස්ථ, විශ්වාසනීය ස්ථානයක් ලෙස ක්‍රියා කළ හැකි අතර, එමගින් තරගකාරී අවශ්‍යතා සඳහා වූ සටන් බිමක් වෙනුවට පහසුකම් සපයන්නකු ලෙස තමන්ව නැවත නිර්වචනය කළ හැකිය.

ලොව පුරා පිරිසුදු බලශක්තිය වෙත සංක්‍රමණය වීම, මහාද්වීප හරහා ආර්ථික හා දේශපාලන ප්‍රමුඛතා නැවත ලියමින් පවතී. ශ්‍රී ලංකාවේ ජල විදුලි, සූර්ය සහ සුළං බලශක්ති ධාරිතාව රටට කලාපය සඳහා පුනර්ජනනීය බලශක්ති හවුල්කරුවකු ලෙස ස්ථානගත වීමට අවස්ථාවක් නිර්මාණය කරයි. ජාතික බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කර ගනිමින්, ජාල සම්බන්ධතාව පුළුල් කිරීම, හරිත මූල්‍ය ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ තාක්ෂණික හුවමාරු සඳහා හවුල් වීම මගින් මහා බලවතුන් හා නැගී එන මධ්‍යම බලවතුන් යන දෙපාර්ශ්වයම සමඟ ගැඹුරු සන්ධාන ඇති කර ගැනීමට පුළුවන. ගෝලීය දකුණ වඩාත් සාධාරණ ජාත්‍යන්තර පිළිවෙළක් ඉල්ලා සිටින බැවින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව දක්වා වූ ගෝලීය පාලනය ප්‍රජාතන්ත්‍රීකරණය කරන ලෙස ඉල්ලා සිටින හඬවල් හා එක්වීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් ඇත. කුඩා ජාතීන්ට සාධාරණ නියෝජනයක් සහ වැඩි ආයතනික ප්‍රතිචාර දැක්වීමක් ලැබිය යුතුය. ප්‍රතිසංස්කරණ-නැඹුරු සන්ධාන සමග පෙළගැසීමෙන්, ශ්‍රී ලංකාවට ‘ගෝලීය ආයතන ප්‍රතිසංස්කරණ සඳහා හඬක්’ලෙස තම ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි රාජ්‍ය තාන්ත්‍රික දෘශ්‍යතාවක් සහ විශ්වසනීයත්වයක් ලබා ගත හැකිය.

කෙසේ වුවත්, මෙම අවස්ථා අල්ලා ගැනීම සඳහා අප නොකඩවා පෙන්නුම් නොකළ ගුණාංග අවශ්‍ය වෙයි. එනම්, දේශපාලන ස්ථාවරත්වය, සුසංගත විදේශ ප්‍රතිපත්තියක් සහ ආර්ථික විශ්වසනීයත්වයයි. සාර්ථක කුඩා රාජ්‍ය බලපෑම් ගොඩනගන පදනම මේවා වන අතර, ශ්‍රී ලංකාව දුර්වලවී සිටින්නේ, මෙම ක්ෂේත්‍රවල ය. ශ්‍රී ලංකාවට විනයගරුක පාලනයක්, උපායමාර්ගික පැහැදිලිකමක් සහ දිගුකාලීන ජාතික සැලසුම්කරණයකින් මෙම ගමන් මග නිවැරැදි කළ හැකි නම්, වර්තමාන ලෝකයේ අස්ථාවරත්වය තර්ජනයක් විය යුතු නැත. ඒ වෙනුවට, වේගයෙන් වෙනස් වන ලෝකයක රාජ්‍ය තාන්ත්‍රික හවුල්කරුවකු සහ ක්‍රියාකරුවකු වන ආකාරය අප අවබෝධ කරගත යුතුය.

(*** පරිවර්තනය - ලුසිත ජයමාන්න)



අදහස් (0)

ලංකාව අවස්ථා අල්ලා ගැනීමට අසමත්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site